‘ස්පුට්නික් v‘ තවත් 65,000ක් ශ්‍රී ලංකාවට


(සුජිත් හේවාජුලිගේ)

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 65,000 ක තොගයක් අද (11) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

එම එන්නත් තොගය රැගත් එම්රේට්ස් ගුවන් සේවයේ ඊ.කේ 648 අංක දරන යානය කටුනායක ගුවන්තොටුපළට අද (11) අලුයම 1.35ට පැමිණියේය .

ශීතකරණ බහාලුම් 13ක අසුරා තිබූ මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩබා ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ශීතකරණවල ගබඩා කිරීමෙන් පසුව ශීතකරණ පහසුකම් සහිත ලොරිවලින් කොළඹ මධ්‍යම බෙහෙත් ගබඩා සංකීර්ණයට රැගෙන ගිය බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම එන්නත් තොගයෙන් මාත්‍රා 50,000ක් පළමු මාත්‍රාව ලබාදීම සඳහාත් මාත්‍රා15,000ක් දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහාත් වෙන් කෙරෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මේ එන්නත් ඉදිරි දිනවලදී දිවයිනේ තෝරාගත් අවදානම් කණ්ඩායම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.