සම්බුද්ධ ශාසනයේ පවතින අඩුපාඩු සකස් කිරීමටත් එහි විධිමත් භාවය ඇති කිරීමටත් අවශ්‍ය සංගායනාවක් කිරීමට හොඳම කාලය යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ අද (4) කොළඹ 7, එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
අතීතයේ සිටි රජවරුන්ද මෙවැනි සංගායනාවන් පවත්වා ඇති බවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා එම අතීත රජවරුන් හා මුතුන් මිත්තන් කළ කාර්ය භාරයේ දිගුවක් ලෙස එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැඳින්විය හැකි බවත් උන්වහන්සේ කීහ.
‘ශාසනය විධිමත් කිරීමටත්, අඩුපාඩු සකස් කිරීමටත් හොඳම කාලය මේ කාලයයි. තවම අපේ ශාසනනය විනාශ වී නැහැ. ශාසනයේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ක‍්‍රියාත්මක ආයතන, උගත් වියත් භික්‍ෂූන් වහන්සේලා අප සමග සිටිනවා. ඒත් මීට වඩා යමක් අපට ශාසනය වෙනුවෙන් කළ හැකියි. මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එන්නේ ඒ වෙනුවෙනුයි. බොහෝ දෙනෙකුට එකග විය හැකි දේවල් මේ පංචවිධ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය තුළ තිබෙනවා. බුදු දහම වෙනුවෙන් කළ යුතු දේත් මෙහි පෙළගස්වා තිබෙනවා‘



