‘සරසවියේ මුල්‍ය වංචා ගැන චෝදනා ලැබුවෙක් එජාපයේ මන්ත්‍රීවරයකු වීම පුදුමයක්‘


(ආරියරත්න රණබාහු සහ  සුජිත් හේවාජුලිගේ)


ඔලුවිල් විශ්ව විද්‍යාලයේ  මුදල් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන අවභාවිත කිරීමේ  චෝදනාවට ලක් වු  ආචාර්යවරයෙක් එජාප නවක මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සම්බන්ධව තමන් මවිත වන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසීය.


මෙම ආචාර්යවරයා විශ්ව විද්‍යාලයේ මුදලින් නිවාස නඩත්තු කිරීම විදුලිබිල්  ගෙවීම ආදි චෝදනා මත කෝප් කමිටුව විසින්  පරීක්ෂණ පවත්වන බව පැවසු අමාත්‍යවරයා ඔහුට එරෙහි විශාල චෝදනා පත්‍රයක්  නිකුත් කර ඇතැයිද කීවේය.


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ද මෙම තැනැත්තාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද එවැනි පුද්ගලයකු නවක මන්ත්‍රීවරයකු ලෙස එක්සත් ජාතික පක්ෂය යටතේ දිවුරුම් දීම එම පක්ෂයේම ඇමැතිවරයකු ලෙස තමන් පුදුම වන බවද සඳහන් කළේය.

ඔලුවිල් විශ්ව විද්‍යාලය තුළ  මහා මාෆියාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇතැම් ආචාර්යවරුන් සිසුවියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටීම දිගින් දිගටම සිදු කරන බවද ඇමැතිවරයා කීය.


උසස් අධ්‍යාපන ඇමැති ලෙස ඔලුවිල් විශ්ව විද්‍යාලයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවකදී තමාට මෙම කරුණු අනාවරණය වු බව කී ඇමැතිවරයා ඒ අනුව පරීක්ෂණ සිදු කරන බව කීවේය.


අමාත්‍යවරයා මේ කරුණු සහන් කළේ උසස් අධ්‍යාපන හා සංස්කෘති අමාත්‍යංශය යටතේ ඉරිපත් කළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයේදීය.