(විනීතා එම් ගමගේ)
අන්තර්ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ ‘අත්අඩංගුවෙන්’ මුදා හැරීමට පියවර ගන්නා ලෙසත් ජනතාවගේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන මාධ්‍ය මර්දනයකට නොකරන ලෙසත් ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත ලිපියක් යවා ඇත.
විදෙස් ගත ශ‍්‍රමික පිරිසක් අඩු වියදමින් තමන්ගේ නිවස සමග සන්නිවේදනය කරගන්නා මාර්ගය වන්නා වූ මෙම සමාජ මාධ්‍ය අත් අඩංගුවට ගැනීම අතිශයින්ම අසාධාරණ බව ඔහු එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
‘‘පසුගිය දිනවල මහනුවර ප‍්‍රදේශය කේන්ද්‍ර ගත කරගනිමින් ඇවිලී ගිය ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ආශ‍්‍රිත සිදුවීම් සමාජ ජාලයන් මගින් ව්‍යාප්ත වීමේ ඉඩ ඇති බව පවසමින් ආණ්ඩුව විසින් එම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය වෙත තිබූ ප‍්‍රවේශය අවහිර කිරීමට පියවර ගන්නා ලදී.
එහෙත් එම නිශ්චිත මෙහොතේ ගන්නා ලද සමාජ ජාල තහනම පිළිබඳ තීරණය මේ දක්වා ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම මාධ්‍ය ප‍්‍රයෝජනයට ගනිමින් පොදු සන්නිවේදන කටයුතුවල යෙදෙන සහ වෘත්තීමය කටයුතුවලදී භාවිත කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටිති. වඩා බරපතළ කරුණ වනුයේ, මෙම තහනම දිග්ගැස්සීම මගින් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප‍්‍රකාශනයේ අයිතිය වැනි ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතිවාසිකම් සීමා කිරීමට කූඨ ලෙස උත්සාහ දරමින් සිටින්නේද යන්නය.
සැබැවින්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතිවාදය හා ආගම්වාදය වපුරන, වෛරී ප‍්‍රකාශනයකට ඉඩ නොතබන ලෙසට පූර්වයෙන් පියවර ගැනීමය. ඊට අදාළ නීතිය උපරිම ලෙස ක‍්‍රියාවේ යෙදවීමය. ක‍්‍රමයෙන් නිදැල්ලේ වැඩිමට ඉඩහළ මෙම ප‍්‍රවණතාවයන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වෙද්දීද ආණ්ඩුව ඒ පිළිබඳව ක‍්‍රියාත්මක වූයේ නැත. එහෙත් එසේ වැඩුණු ජාතිවාදී ආගම්වාදී අදහස් මානව ක‍්‍රියාකාරිත්වයක් බවට පත්ව ලේ, ගිනිදළු ලෙසින් කඩා වැදිය හැකි බවත් එහි බරපතලකමත් ආණ්ඩුව දැන සිටිය යුතුව තිබිණි. තිස් වසකට වැඩි ජාතිවාදී යුදමය තත්වයකින් බැට කෑ සමාජ අත්දැකීමට පසුවත් මෙම අවදානම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු.