‘සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි‘


මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයේ වගකීම බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බාර ගත යුතු යැයි ගම්පහ නියෝජ්‍ය නගරාධිපති අජිත් බස්නායක මහතා කියයි.

පක්ෂය තුළ මහින්ද පාර්ශ්වය හා මෛත්‍රී පාර්ශ්වය ලෙස බෙදීමක් ඇති කළ බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දැක්වූ පිරිසට ඡන්දය නොදෙන්නැයි ප්‍රචාරයක් ගෙන ගිය බවත්, එනිසා අපේක්ෂකයක් පිරිසක් පරාජයට පත් වූ බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසයි.

එවැනි හය දෙනකු ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ගැනීමේ ගැටළුවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙස වසර විස්සකටත් වැඩි කාලයක් සිටි පණ්ඩු බණ්ඩාරනායක මහතා පරාජයට පත්වීමේ වගකීම ද මහ ඇමැති සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක බාර ගත යුතු යැයි ඔහු කියයි.

එරංග සේනානායක මහතා එජාපයෙන් සන්ධානයට ගෙන ඔහු ජයග්‍රහණය කරා මෙහෙයෙව්වේ පණ්ඩු බණ්ඩාරනායක මහතා බවත්, ඒ වෙනුවෙන් බණ්ඩුරනායක මහතාට දුන් තෑග්ග ඔහුට තිබූ ඡන්ද කැලණිය ප්‍රාදේශීය සභාපතිට හැරවීම බවත් බස්නායක මහතා පවසයි.

කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීරට ගම්පහ ආසනයේ ඡන්දය නොතිබුණු බව ද, බස්නාහිර මහ ඇමැතිගේ කීමට කැලණිය සභාපතිට ඡන්දය දෙන්නැයි ගම්පහ ආසනයේ ජනතාවට කීවේ ගම්පහ නගරාධිපති බව ද, පණ්ඩු බණ්ඩාරනායක පැරදුණු පසු ගම්පහ ආසන සංවිධායක කම ගැනීමට සමහරුන් බලා සිටි බන ද ඔහු ප්‍රකාශ කරයි.