(නාලක සංජීව දහනායක)
රිෂාඩ් බදියුදීන් මන්ත‍්‍රීවරයාට එරෙහි චෝදනා විමර්ෂණය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සජීවීව විකාශය කිරීමෙන් සංවේදී බුද්ධි තොරතුරු හා බුද්ධි අංශ නිලධාරීන් සමාජයට නිරාවරණය වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (30) පැවැසීය.
එබැවින් ජාතික ආරක්‍ෂාව අනතුරට ලක්වන ආකාරයේ සංවේදී බුද්ධි තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසට මාධ්‍යයෙන් ඉල්ලීමක් කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
පිටකෝට්ටේ පිහිටි, ජාතික නිදහස් පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේ ඔහුව ශුද්ධවන්තයකු කිරීමට යැයි කී වීරවංශ මහතා එවැනි තේරීම්කාරක සභාවකට සහභාගීවීමෙන් ඵලක් නැති බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය එයට සභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කළ බවද ඔහු කීය.
විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පළමුව මෙම තේරීම්කාරක සභාව මගින් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තුවන බවද වීරවංශ මහතා කීය.
මහබැංකු බැඳුම්කර වංචාවේ ප‍්‍රධාන චූදිතයන් වූ පුද්ගලයන් හා පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයට මූල්‍යමය වශයෙන් විශාල දායකත්වයක් ලබාදුන් ඊබ්‍රහීම්, තම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට ඉදිරිපත්කළ පුද්ගලයන් ප‍්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කරන ආකාරය දුටුවිට සිනහවෙන තැන සොයාගත නොහැකි යැයිද ඇමැතිවරයා පැවසීය.
එමෙන්ම මන්ත‍්‍රීවරයා තේරීම්කාරක සභාව නියෝජනය කළ පිරිසෙන් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට තරම් දැනුමක් තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පමණක් යැයිද සඳහන් කළේය.

