‘සජිත්ගේ වැඩකට රනිල් හොඳ කියයි ‘


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හෘද රෝගීන්  සදහා භාවිතා කරන බෙහෙත්  වර්ග දෙකක් සමගි ජන බලවේගයේ "හුස්ම"වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය.

ඖෂධ අවශ්‍යතාවයන් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥයන්ගෙන් විමසා දැනගෙන අදාළ ඖෂධ  ලබා දීමට තීරණය කළ බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

සමගි බල සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැටුප් මෙන්ම පක්ෂ සංවිධායකවරුන්, පාක්ෂිකයන් ,දෙස් විදෙස් පක්ෂ සංවිධාන මේ සඳහා ආධාර උපකාර කරන බවද විපක්ෂනායකවරයා කීය.

එම ඖෂධ රටේම අවශ්‍යතාවය අනුව ලබාදීමට ශක්තියක් නැති වුවත් හැකි පමණ ලබා දීමට කටයුතු කරන බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන සතියේ  මිලියන 37 ක් වටිනා ජීවිත බේරා ගැනීමේ රෝහල් උපකරණ පරිත්‍යාග කරන්නටත් බලාපොරොත්තු වෙන බව සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ අදාල පරිත්‍යාගය සම්බන්ධයෙන් විපක්ෂ නායකයාට මෙන්ම සමගි ජන බලවේගය ට ස්තූතිය පළ කරන බවයි.

මේ ක්‍රියාව හොඳ ආදර්ශයක් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලාංකික ඩයස්පෝරාවෙන් විදේශ විනිමය ලබාගන්නැයි විපක්ෂනායකවරයා  කළ ඉල්ලීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල වලට දැනුම් දෙන බවත් ඖෂධ පරිත්‍යාගය සම්බන්ධයෙන් සම්බන්ධීකරණ  කටයුතු සඳහා සාකච්ඡා  කිරීමට රුවන් විජයවර්ධන මහතාට දන්වන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.