‘සජිත් අනිවාර්යෙන්ම ජනපති වෙනවා: ඒ ගැන සැකයක් නෑ’


 සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අනිවාර්යයෙන් ජනාධිපති වන බවත්, ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැති බවත් තලතා අතුකෝරල මහත්මිය ඊයේ (20) ප්‍රකාශ කළාය.

තමන් ඇතුළු සියලු දෙනා බලා ඉන්නේ එය සිදුවන තුරු යැයි කී අමාත්‍යවරිය, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදය ද ඇතිව ප්‍රේමදාස මහතා මෙම අවස්ථාව ලබාගන්නේ යැයි  සඳහන් කළාය.

දුප්පතාගේ දුක හඳුනන, පොළවේ පය ගසා සිටින, ජනතාව වෙනුවෙන් කැප වන නායකයකු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති කරන්න තමන් ඇතුළු පිරිස කැප වන බව ද ඇය කීවාය. අතුකෝරළ මහත්මිය මේ අදහස් පළකළේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, බුංගිරියේ ඉදිවූ 204 වන ආදර්ශ ගම්මානය වන කටුරොද ගම විවෘතකිරීමේ උත්සවයේදීය.

එම උත්සවය නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවයේදී ඇමැතිවරිය කළ කතාව සහිත නිවේදනයක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ අතර, එය පදනම් කර ගනිමින් මෙම ප්‍රවෘත්තිය සැකසිණි.