‘සංඝාධිකරණයක් පිහිටුවනවා‘


ප‍්‍රංශයේ යුනෙස්කෝ ආයතනයේ වෙසක් අනුස්මරණය වෙනුවෙන් පැවති විශේෂ උත්සවය වෙනුවෙන් පැමිණි බුද්ධ ශාසන හා පළාත්පාලන කටයුතු පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට සහ ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශීර්වාද ලබා ගත්තේය.

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව බුද්ධ මන්දිරයේදී බුද්ධ වන්දනාව සිදුකොට මහා සංඝ රත්නයේ ආශීර්වාදය ලබාගත් ඒ මහතා ප‍්‍රකාශ කළේ වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ භික්ෂු සාසනය තුළ ඇතිවී තිබෙන විපරීත තත්තවයන් සමනය කර යම් වෙනසක් ඇති කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවයි. භික්ෂු කතිකාවතක් සකස් කිරීමට හා සංඝාධිකරණයක් පිහිටුවීමටත් අවශ්‍ය කටයුතු මහනාහිමිවරුන්ගේ උපදෙස් අනුව දැනටමත් සකස් කර ඇති බවත් ඒ සඳහා ඇමැති  මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් පැවසීය.

සිවුරු දරාගෙන සාසනයට නොගැලපෙන ක‍්‍රියා සිදු කරන පුද්ගලයන් සසුනින් නෙරපා හරින්නට වැඩ පිළිවෙලක් සකස් කරගෙන යන බවත් රහතන් වහන්සේ නමක් ලෙස තමන් හඳුන්වා ගනිමින් රහතන් වහන්සේලාට නිගාකරන අයට විරුද්ධව යම් පියවරක් ගන්නට කටයුතු කරන බවත්, පෙළපාළි යමින් ගල් මුල් විසි කරමින් ගිහියකු විසින්වත් නොකළ යුතු  පහත් වැඩ චීවරයක් දරාගෙන සිදු කරන අය ගැන විශේෂයෙන් ඉදිරි කාලයේදී නිසි පියවර ගන්නා බවත් ජයසූරිය මහතා පැවසීය.

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මුල් කර ගනිමින් පරවාහැර චන්දරතන නාහිමියන් ශ‍්‍රී ලංකාවේ සිදු කරන සමාජ සේවා කටයුතුවලට සිය ප‍්‍රසාදය පළ කළ අමාත්‍යවරයා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වර්තමාන දියුණුව ගැනද මහත්සේ සතුටට පත්වන බවද  ප‍්‍රකාශ කළේය.

ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් ප‍්‍රංශ බසට පරිවර්තනය කරන ලද පිටු 525 කින් යුත් ධම්මපදය පොතේ පිටපතක් කරු ජයසූරිය ඇමැතිවරයා වෙත ලබාදීමද එහිදී පරවාහැර චන්දරතන නාහිමියන් අතින් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමියෝ සහ ශ‍්‍රී ලංකාවේ සිට වැඩම කළ පුවක්ගහකොරටුවේ ඉන්දජෝති හිමියෝද එක්වූහ.

20150529_092950 20150529_094044 20150529_094251 20150529_094253 20150529_094303