‘ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආයෙත් විකුණන්න යනවා’


(ටී. කේ. ජී. කපිල)

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙන බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය.

ලයිකා මොබයිල් ආයතනය එල්.ටී.ටී.ඊ. මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන සමාගමක් බවද ජනක විජේපතිරත්න මහතා කීය.

ඒ මහතා එසේ පැවසූවේ අද (4) කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීහු ද එක්ව සිටියහ.

මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින්, වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත්, මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇද වැටී බංකොලොත් වන බවත් සභාපතිවරයා පැවසීය.

එමෙන්ම ලයිකා මොබයිල් ආයතනය ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දැනට සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බව ද විජේපතිරත්න මහතා හෙළිදරව් කළේය.

මෙම ගනුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සඳහා මුල් වූ කාන්තාවක් මෙන්ම, මුදල් අමාත්‍යාංශයේ දැනට සිටින උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා අනාවරණය කළේය.

වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැක ගැනීම සහ දියුණු කිරීම සදහා කිසිවක් නොකළ බවත් , ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකළාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය. මේ නිසා පසුගිය වසර 10 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත්, වත්මන් රජය යටතේ පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය.

මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03 ක් හේතු වූ බවත්, මෙයින් පළමු වැන්න පසුගිය වසර 4 ක කාළය තුළ අමාත්‍යාංශ 04 ක් යටතේ , අමාත්‍යවරුන් 08 යටතේ, විධායක නිලධාරීන් 04 ක් සහ සභාපතිවරුන් 03 ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද පෙන්වා දුන්නේය.

දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බඳ සහිත නවීනතම  ඒ 350 එයා බස් ගුවන් යානා ගණුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර, ප්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදු වීම බවත් පැවසීය.

මීට අමතරව මෙම තත්වයන් නිසා ඒ- 330 එයා බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින අතර, එම ගුවන් යානා සදහා ද බදු වාරික ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම පැවසීය.

පැරිස්, ෆ්‍රෑන්ක්පර්ට්, රෝමය වැනි දිගු දුර ගමනාන්ත සදහා පවත්වා ගෙන ගිය ගුවන් ගමන් සේවා අහෝසි කර දැමූ අතර ඒමගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද 50% ක සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් වාර්තා වන බවද  හෙතෙම හෙළිදරව් කළේය.

ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ශ්‍රී ලංකා ආර්ථිකයේ මර්මස්ථානයක් බවත්, එය දේශීය සහ විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ආහාරපාන සපයන එකම ශ්‍රී ලංකාවේ පවතින සමාගම බවත් පැවසීය.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොලොත් කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සියලුම දේශපාලනඥයන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටි ඉහළ කළමනාකරුවන් වගකිව යුතු බවත්, එයට එහි සාමාන්‍ය සේවකයින් වග නොකියන බවත් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 100% ක් ලාභ ලබන ආයතනයක් නොව පාඩුව අවම කර ගනිමින් මහජනතාව වෙත සේවා සපයන ආයතනයක් බවත් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා  මෙසේ කීවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් ලයිකා මොබයිල් ආයතනය වෙත විකිණීමට තැත් කළහොත් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව, එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බවයි.

මේ සදහා තමන් සමග ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සියලු වෘත්තීය සමිති වලට අනුයුක්ත සේවකයින් 8,000 ක් දෙනා ද ඉදිරිපත් වන බවත් පැවසීය.