‘වෘත්තීය සමිතිවල ගැටලු හොයාගෙන ගොස් විසඳනවා - අජිත් පී. පෙරේරා


(නිමල කොඩිතුවක්කු)   
       
නව තනතුරත් සමඟ වෘත්තීය සමිතිවල ගැටලූ හොයාගෙන ගොස් විසඳීමට තමන් කැපවන  බවත් එහිදී  රජයත් සමඟ කේවල කිරීමට වුවද සූදානම් බවත්  එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (17) පැවසීය.

නව තනතුර භාරධූර වුවද සියලූම වෘත්තීය සමිති පෙළ ගස්වමින් ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතා දිනා දීමට කැප වෙන බවද ඔහු සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම්  මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් ධූරයේ වැඩ ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩ භාර ගැනීමෙන් පසුව අජිත් පී. පෙරේරා මහතා ජාතික සේවක සංගම්  මූලස්ථානයේ දී සහ රාජගිරිය පිහිටි ලංකා ජාතික  වතු කම්කරු සංගමයේ දී එහි නියෝජිතයන් හමුවී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේද කීය.

‘‘පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂය හා අනුබද්ධ සියලූම වෘත්තීය සමිතිවල ලේකම් ධුරයට මා පත් කිරීම ගැන පක්ෂ නායක අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාට මම ස්තූති වන්ත වෙනවා. මගේ  රාජකාරිය බවට පත්ව තිබෙන්නේ  ඒ සියලූම වෘත්තීය සමිති වලට නායකත්වය දෙමින් එම වෘත්තිය සමිති සම්බන්ධීකරණය  කරමින් එහි  සාමාජිකත්වයේ අයිතිවාසිකම් තහවුරු කිරීමයි. 

මෙම තනතුර අතිශය අමාරු කටුක තනතුරක් කියලා මේක භාර ගැනීමේ දී  මට බොහෝ දෙනෙකු පැවසුවා. හැම තැනම අරගල තියෙනවා.  මේ අය තෘප්තිමත් කරන එක ලේසි නැහැ. වෘත්තිය සමිති නිතරම සටනේ ඉන්නේ. මමත් නිතරම සටනේ ඉන්නේ. ඒ නිසා තමයි මම මේ තනතුරට පත්කරන්න ඇත්තේ. මෙම බැරූරුම් වගකීම මම ඉතාම සතුටින් බාර ගන්නවා. 

වෘත්තීය සමිති ව්‍යාපාරය  පොදුවේ මේ රටේ දැවැන්ත  අර්බුදයකට  ලක්ව තිබෙනවා. ආණ්ඩු බලයේ ඉන්න නිසා එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ  වෘත්තීය සමිති ව්‍යාපාරය විශේෂ  ප‍්‍රශ්නයක  ඉන්නවා. 

අපි ආණ්ඩු බලය  තියාගෙන අපේ පාක්ෂිකයන්ට වෙච්ච අසාධාරණකම් ගැන උත්තර හොයන්න බැරි තත්වයක ඉන්නවා. රජය හා සම්බන්ධ වුණහම අපි මේ ගැටලූ වලට ඉක්මන් ප‍්‍රතිචාර දැක්විය යුතුයි.  ඒ වගේම සියලූම මැති  ඇමැතිවරුන් වෘත්තීය සමිති සමඟ සම්බන්ධීකරණය විය යුතුයි කියලා අපි අපේක්ෂා කරනවා.  නමුත් අවාසනාවකට එහෙම වෙන්නේ නැහැ.

ඡායාරූප - ළහිරු හර්ෂණ