‘විහිළු පොරොන්දු දී සිසු බුද්ධියට නිගා කරන්න එපා‘


මහ මැතිවරණයේදී සිය කඳවුරේ නියත පරාජය මේ වන විට අවබෝධ කරගෙන සිටින හිටපු ජනපති මේ වන විට විහිළු සහගත පොරොන්දු දෙන බවත් ඔහුගේ එකම අභිප්‍රාය වී ඇත්තේ එවැනි ඕනෑම ආකාරයේ පොරොන්දුවක් දී ඡන්ද දායකයා මුලා කොට තරුණ පරපුර රවටා කෙසේ හෝ බලය අත්පත් කර ගැනීම බවත් මේ මගින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල ලෙස මෙරට ඡන්ද දායකයාගේ බුද්ධියට නිගා කරමින් සිටින බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සරසවි සිසුන්ගේ ඉල්ලීම් රාජපක්ෂ පාලන කාලය තුළදී නොසලකා සිසුන්ට කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර එල්ල කළ බවත් මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීමට මතක්වූයේ ජනපතිවරණයෙන් පැරදී ගෙදර යන්න ඔන්න මෙන්න කියා තිබියදී බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා සිය නිවේදනයේ දක්වා ඇත.

ජනපතිවරණයට පෙර පැවති අයවැය ඡන්ද ගුණ්ඩුවක් කළ මහින්ද රාජපක්ෂට එරෙහිව සරසවි ශිෂ්‍ය ප්‍රජාව සිය ඡන්දය පාවිච්චි කරමින් ඔහු ගෙදර යැවූ බවත් අද වසර 10ක් බලයේ සිටිද්දී නොකළ දෑ සිසුන්ට ලබාදෙන බව කියමින් නියත පරාජය පෙනි පෙනී විහිළු මැතිවරණ පොරොන්දු ලබාදෙන බවත් එහි සඳහන්ය.

පරාජය වන බව ස්ථිරවම දන්නා අයකුට ඕනෑම මැතිවරණ පොරොන්දුවක් ඕනෑම අයුරකින් ලබාදිය හැකි බවත් පවසා ඇති විජයවර්ධන මහතා මෙවැනි විහිළු මැතිවරණ පොරොන්දු ලබාදී සරසවි සිසු ප්‍රජාවගේ බුද්ධියට නිගා නොකරන ලෙස තම නිවේදනයෙන් ඉල්ලා සිටියි.