‘විශේෂඥයන් ගෙන්වූයේ උපදෙස් ගන්නයි‘


අතුරුදන් වූවන් පිළිබඳව පත්කළ කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතාගේ ඉල්ලීමක් අනුව ජපානයේ මොටෝ නොගුචි නම් යුද අපරාධ නඩු ඉදිරිපත් කිරීමේ විශේෂඥයා ඇතුළු ජාත්‍යන්තර විශාරධයින් කිහිප දෙනකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බවත් අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාර්යයක් ඔවුනට නොතිබූ බවත් මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය කියයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් මෙසේද කියයි.

‘ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කළේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.

ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්තාවටද පටහැනි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.‘

රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජපාන නියෝජිත මොටෝ නොගුචි උපදෙස් පතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ඔහුට ස්තූතිවන්ත වන බවයි.