‘විශ්වාසභංග විවාදයේදී පක්ෂය බෙදෙන්නේ නැති තීන්දුවක් ගන්නවා‘


(චන්ද්‍රෙස්න ගමගේ) 

අගමැතිවරයාට එරෙහිව කථානායක වරයාට බාර දී ඇති විශ්වාස භංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න තම පක්ෂය මෙතෙක් තීන්දුව ගෙන නොමැති වුවද පක්ෂය බෙදෙන්නේ නැති තනි තීන්දුවක් ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.

පසු ගිය පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරමින් පත් වූ පලාත් පාලන නියෝජිතයන් 29 දෙනා  අද (25) ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් අමතා ඇමතිවරයා එසේ පැවසීය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසිය.


‘පලාත් පාලන ආයතන වල බලය පිහිටු වීමේදියම් කිසි පක්ෂයක් සමග සංධාන ගත වෙන්නට පක්ෂය මෙතෙක් තීන්දුවක් ගෙන නැහැ.  තම පෙරමුණට බලය හිමිවෙන ඕනෑම පක්ෂයක් සමග සංධාන ගත වෙන්නට පක්ෂය සූදානම්. තම පක්ෂයෙන් තේරී පත්වු පලාත් පාලන නියෝජිතයන්ට ව්‍යාපාර කරන්නට දූෂණයේ යෙදෙන්නට හා මැරකම් වල යෙදෙන්නට ඉඩ  දෙන්නේ නැහැ.

එසේ හැසිරෙන මන්ත්‍රී වරුන්ට තම පක්ෂයේ විනය නීති ක්‍රියාත්මත කරනවා. පුද්ගලයාට බලය හිමිවෙන ක්‍රමවේදයකට අපි පළාත් පාලන ආයතන පිහිටුවන්න කටයුතු කරන්නේ නෑ. නව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු කම් තිබුණද එහි ප්‍රධාන අරමුණ  වු කොට්ඨාශයකට වගකිව යුතු මන්ත්‍රී වරයෙකු පත්කරීමට හැකි වීම ජයග්‍රහණයක් බවද සදහන් කරන්න කැමතියි.

අර්ජුන මහෙන්ද්‍රන් කොහේ හිටියත් මේ රට ට ගෙනත් මහබැංකු බැදුම් කර සිද්ධියෙන් මේ රට ට වු පාඩුව අයකර ගැනීමට කටයුතු කරනවා පමණක් නොව තරා තිරම නොබලා බැදුම් කර සිද්ධියට හවුල් වු හා අනුබල දුන් සැමට දඩුවම් දෙන්නට තම ආණ්ඩුව පසු බට නොවන බවද මෙහිදි සදහන් කරන්න කැමතියි. ‘