‘විදෙස්ගත ලාංකිකයන්ගේ පැමිණිමට කිසිදු සීමාවක් පනවා නැහැ‘


(ඩයනා උදයංගනී)
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සම්බන්ධයෙන් කිසිම සීමාවක් පනවා නැතැයි ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පැවසීය.
 
නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්තවීම සමඟ එම රටවල්වලින් යම් යම් සීමා පනවා ඇති නිසා ඔවුන්ට ගමනා ගමන කටයුතු දුෂ්කර විය හැකි බව ආගමන විගමන පාලකවරයා සඳහන් කළේය.
 
එබැවින් යළි මෙරටට පැමිණීමට උත්සාහ කිරීමට වඩා එම රටවලම රැඳී සිටීම ආරක්‍ෂිත බව ද ඔහු ප්‍රකාශ කළේය.
 
ශ්‍රී ලංකාවට පැමිණියත් ගුවන් යානයේදී හෝ වෙනත් ස්ථානයකදී කොරෝනා වයිරසය ආසාදනයවීමේ අවදානමක් ඇති නිසා අත්‍යාවශ්‍ය නම් පමණක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද සරත් රූපසිරි මහතා කීවේය.

ආගමන විගමන පාලක ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවටත්, හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටත් දිනපතා විශාල පිරිසක් පැමිණෙන බව කී රූපසිරි මහතා අත්‍යාවශ්‍යම කාරණාවලට හැර ඒ වෙත නොපැමිණෙන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

විදේශ රටවලට වීසා නිකුත් කිරීම මේ වන විට සීමා කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.