‘විද්‍යාපීඨවල යල්පැනගිය විෂයමාලා නවීකරණය කළ යුතුයි‘ - අකිල විරාජ්


(ශාන්ත රත්නායක)

විද්‍යාපීඨවල යල්පැනගිය විෂයමාලා නවීකරණය කරමින් නවීන ලෝකයට ගැළපෙන පරිදි එම අධ්‍යයන ක්‍රමවේදයන් සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (13)  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ක් සඳහා කැබ් රථ ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය. 

එහිදී වැඩිදුරටත් කියා සිටියේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල  යල්පැනගිය විෂයමාලා නවීන ලෝකයට ගැළපෙන පරිදි සැකසිය යුතු බවයි. විද්‍යාපීඨවල පරිපාලන කටයුතු සඳහා ප්‍රවාහන පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් මතු ව තිබූ බවත් එම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සහ විද්‍යාපීඨවල පරිපාලන කටයුතු වඩාත් සවිබලගැන්වීමේ අරමුණින් මෙලෙස වාහන ලබා දීමට හැකිවීම පිළිබඳව තමා සතුටට පත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.  විද්‍යාපීඨ ශීක්ෂණලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට තමා කටයුතු කළ බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය. 

එයට රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.