‘ව්‍යාපාරවලට නයිජීරියාව හොඳ රටක්‘


නයිජීරියාවේ රුදුරු කප්පම් කරුවන්ගෙන් ශ්‍රී ලාංකික ඉංජිනේරු කරුණාදාසගේ ජීවිතය බේරාගත් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ. එල්. රත්නපාල මහතා 23 වසරක තම සේවා කාලය නිමකොට හෙට (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ලංකාදීප එසැණ ඒ. එල්. රත්නපාල මහතා සමග මෙසේ සාකච්ඡාවකි.

ප්‍රශ්නය - ලංකාවේ අපිට ලොකු අත්දැකීමක් වූ ලාංකික ඉංජිනේරුවාගේ ජීවිතය බේරාගත් හැටි ඔබට කියන්න පුළුවන්ද?

පිළිතුර - ඒක මට ලොකු අභියෝගයක් වුණා, සියලු දේ පාලනය කරගෙන ලාංකිකයාගේ ජීවිතය බේරගන්න මට ඕන වුණා. ලාංකිකයා සේවය කළ සමාගමත් එක්ක මම සාකච්ඡා කළා, නයිජිරියා රජයත් එක්ක, ලංකාවේ විදේශ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කළා. පැහැරගත්තු ලාංකිකයාගේ පවුලේ අයගේ හිත හදන්නත් ඕනෑ. ඒ මදිවට පාන්දර තුනට කතා කළ ලංකාදීපේ ඔයාලට පිළිතුරු දෙන්නත් ඕනෑ. මේ හැමදේම මට පුළුවන් විදියට මම කළමනාකරණය කර ගත්තා.

ප්‍රශ්නය - ඔබතුමාගේ විදේශ සේවයේ අත්දැකීම් ගැන කිව්වොත්?

පිළිතුර -  වසර 23ක විදේශ සේවා අත්දැකීම් මට තියෙනවා. කැනඩාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය, වියට්නාමය, ඕස්ට්‍රේලියාව මම සේවය කරපු රටවල්. නයිජීරියාවේ මහකොමසාරිස් පුරප්පාඩුවක් ඇති වුණ වෙලේ මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා නයිජීරියාවට ආවා.

ප්‍රශ්නය - ලංකාවේ කොපමණ ප්‍රමාණයක් නයිජීරියාවේ රැකියා කරනවද?

පිළිතුර - 2000ක් විතර.

ප්‍රශ්නය - ඔවුන්ට තියෙන අවදානම ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවද?

පිළිතුර, අවදානම වැඩි වුන තරමට තමයි ප්‍රතිලාභ ලැබෙන්නේ. නමුත් පරිස්සමෙන් ජිවත් වෙන්න කියලා මම ඔවුන්ට කියනවා. නජිරියාව කියන්නේ අප්‍රිකාවේ ලොකුම ආර්ථික වත්කමක් ඇති රට, ඒ වගේම ජනගහනයෙනුත්. නයිජීරියාව ව්‍යාපාරවලට හොඳයි. අවදානම දරාගෙන ඉන්දියා, චීන ජාතිකයින් මෙහෙ සාර්ථක ව්‍යාපාර කරනවා.

ප්‍රශ්නය - ලාංකිකයින් නයිජීරියාවට එන්නේ රැකියා සඳහා නේද?

පිළිතුර - වැඩිපුරම එන්නේ රැකියා සඳහා. නමුත් හෝටල් ආශ්‍රිතව ව්‍යාපාර කරන ලාංකිකයින් කිහිපදෙනෙකුත් මෙහෙ ඉන්නවා.

ප්‍රශ්නය - වසර 23ක දීර්ඝ සේවා කාලයක් ඔබට තියෙනවා. ලංකාවේ විදේශ අමාත්‍යාංශය ගැන මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර - විදේශ අමාත්‍යාංශයෙන් සිදුවෙන්නේ ජාත්‍යන්තර කටයුතු. ඒ වගේම ලංකාවේ හැම අමාත්‍යාංශයක් එක්කම බද්ධවෙලයි වැඩ කරන්නේ. නමුත් වැඩිපුර වැඩ කළත් නම ගන්නේ වෙනත් අමාත්‍යංශයක්. ඒ නිසා තමයි අපේ අමාත්‍යංශය ගැන මිනිස්සුන්ට වැඩි අවබෝධයක් නැත්තේ.

ප්‍රශ්නය - විදේශ අමාත්‍යංශයේ දේශපාලන පත්වීම් ගැන පළපුරුදු නිලධාරියෙක් විදියට ඔබට මොනවද කියන්න තියෙන්නේ?

පිළිතුර - දැන් ඒවා නැවතිලා නේද?

ප්‍රශ්නය - මම ඔබෙන් ඇහැව්වේ වර්තමානය ගැන නොවෙයි, මෙතුවක් කල් සිදුවී යැයි කියන දේශපාලන මැදිහත්වීම ගැන.

පිළිතුර - මට ඒ ගැන රජයේ නිලධාරියෙක් විදියට කියන්න බැහැ.

ප්‍රශ්නය - වටිනා ජිවිතයක් බේරාගෙන ඔබ හෙට ලංකාවට යනවා. මොකද ඔබට හිතෙන්නේ? ඔබේ හෙට දවස?

පිළිතුර - ලොකු සතුටක් දැනෙනවා. ලාංකිකයා සේවය කරපු විදේශ සමාගමට මම ස්තුති වන්ත වෙනවා. මට උපදෙස් දුන්නු ලංකාවේ විදේශ අමාත්‍යාංශයටත්, මාධ්‍යවේදීන්ටත් මම අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා.