‘ව්‍යවස්ථා වෙනසක් කරන බව ජනපති කීවා : දෝෂාභියෝගය ගැන කතා නෑ‘


ශ්‍රී ලංකා නීතීඥ සංගමය අඟහරුවාදා සිට සුපුරුදු රාජකාරි අරඹන බව එහි ලේකම් සංජය ගමගේ මහතා ප්‍රකාශ කළේය. සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු විධායක සභාවේ 30 දෙනකුගෙන් යුත් අධිකරණ කලාප 11ක නියෝජිත පිරිසක් අරලියගහ මැදුරේදී ජනපති හමුවී පැය තුනක සාකච්ඡාවකින් පසු ගමගේ මහතා එසේ කීවේය.

අමැතිවරුන් වන රාවුෆ් හකීම්, ජී එල් පීරිස් සහ මහින්දානන්ද අලුත්ගමගේ , ජනධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද මෙම විශේෂ හමුවට එහි වූහ.

අග විනිසුරුට එරෙහි දෝෂාභියෝගක්‍රියාවලිය අවසන් නිසා ඒ ගැන කතා නොකළ බවත් එවැනි අර්බුදයකදී ඊළඟට ගත යුතු පියවර ගැන සාකච්ඡා කළ බවත් ඔහු කීවේය.

ඊට පිළියම් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බව ජනපති පැවසීයයැයි ඔහු සඳහන් කළේය.

නව අග විනිසුරු පිළිගැනීමේ උ‍ළෙලට නොයන නමුත් ඔහු යටතේ වැඩ නොකරන බව තම සංගමය කිසිවිටකත් නොපැවසූ බව ද ඔහු කීවේය. අධිකරණයේද, ඊට අදාල වෙනත් දේ ගැනද සාකච්ඡා වූ බව හෙතෙම කීවේය.

මේ අතර ජනාධිපති කාර්යාලයය නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරන යුගයකට මේ රට නැවත ඇද දැමීමට කිසිවිටකත් ඉඩ නොතබව බව ජනපති කී බවයි.

රටක නීතිය හෑල්ලු කර දේශපාලන වාසි ගැනීමට මාන බලන කණ්ඩායම් හඳුනාගැනීම රටට ආදරය කරන සියලු වෘත්තිකයන්ගේ වගකීම බව ජනපති එහිදී අවධාරණය කර ඇත.

තම සංගමයට මුවා වී දේශපාලන වාසි ගැනීමට සමහර කණ්ඩායම් උත්සාහ කළ බව නීතීඥ සංගම් නිලධරයන් ජනපතිට කී බවද එම නිවේදනයේ සඳහන් වේ.

පසුගිය සමයේ නීති ක්ෂේත්‍රයේ සිදුවීම්වලට තම සංගමයේ කිසිදු සම්බන්ධයක් නැති බව ඔවුන් පෙන්වා දුන් බව ද ජනපති කාර්යාල නිවේදනය කියයි.