(මුදිතා දයානන්ද)
මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහකින් අවසන් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙන බවද ඒ අනුව මේ වසර අවසානයේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (22) පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
තමන්ගේ ධූර කාලය වසර පහද හයද යැයි සිරිසේන ජනාධිපතිවරයා වරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටි බවද එහිදි ඔහුගේ ධූර කාලය වසර පහක් බවට තීන්දු කළ බවද හේරත් මහතා පැවසීය.
එම තීන්දුව ලබාදුන්නේ 78 ව්‍යාවස්ථාව අනුව ජනාධිපති ධූරයේ දිව්රුම් දී අත්සන් කිරිමෙන් පසු ධූර කාලය එළැඹෙන බවට වන වගන්තිය අනුව ඔහු 2015 ජනවාරි 9 දා වැඩ ධුරයේ කටයුතු ඇරඹු බවට තීන්දු කිරිමෙන් හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිගේ ධූරකාලය වසර පහක් බවට වන වගන්ති සළකා බලා බවද හේරත් මහතා පැවසීය.
ඒ අනුව නැවත නැවතත් ජනාධිපතිගේ ධූර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමෙන් පළක් නොවන බවද ඔහු පැවසීය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පෙන්වා දෙන පරිදි කුමන මැතිවරණයක් කල් දැමූවද කිසිම හේතුවක් නිසා ජනාධිපතිවරණයක් කල්දැමීමට නොහැකි බවද ඒ අනුව මේ වසර අවසානයේ එය පැවැත්විම අනිවාර්යයක් බවද හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

