(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු )
අමාත්‍යධූරවල වගකීම නැවත භාරගන්නා ලෙස ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභා කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් උන්වහන්සේලා බැහැ දැක සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මුස්ලිම් ජනතාව මුහුණ දී ඇති තත්ත්වය අවබෝධ කරගෙන එවන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේලාට ස්තුතිවන්ත වන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
තමන් මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු මහ නා හිමිවරුන් හමුවී පැහැදිලි කරදීමට බලාපොරොත්තු වන බව කී හකීම් මහතා තම තීරණය හේතුවෙන් රටේ සංහිඳියාවට අගතියක් නොවේවායි ප්‍රාර්ථනා කරන බවද කීවේය.
තම කණ්ඩායමක් ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අද (6) දිනයේදී ජනාධිපතිවරයාට යොමු කරන බවද හෙතෙම කීවේය.
සියලු දෙනා අත්සන් කළ ඉල්ලා අස්වීමේ ලිපියක් ඉකුත් සදුදා අගමැතිවරයාට භාරදුන් බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලිපි යොමුකිරීම පමා වූයේ රාමසාන් උත්සවය හේතුවෙන් යැයිද පැවසීය.

