‘වංචා දූෂණ සෙවීම හෙමින්‘


පසුගිය රජය සමයේ සිදුවූ බව කියන අල්ලස්, දූෂණ හා වංචා පිළිබඳව ජනතා පැමිණිලිවලින් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන තවමත් විභාග කර ඇත්තේ 40% ක පැමිණිලි ප්‍රමාණයක් පමණක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මාධ්‍ය කළමනාකරු ශාන් විජේතුංග මහතා අද (8) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

දැනට වංචා දූෂණ පිළිබඳ පැමිණිලි 1499 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවත් ඉන් පැමිණිලි 367 ක් පමණක් තවමත් විභාගයට ගෙන ඇති බවත් ඔහු කීවේය.

තම ආයතනය කළ සොයා බැලීම් අනුව මෙම තොරතුරු හෙළිදරව්වූ බවත් වංචා හා දුෂණ මැඩලීමේ රජයේ කාර්ය භාරය අපේක්ෂිත මට්ටමින් සිදු නොවූ බවට දිවයින පුරා සිදු කළ සමීක්ෂණ අනුව ජනතාවගෙන් 62%ක් ප්‍රකාශ කර ඇති බවත් ශාන් විජේතුංග මහතා පැවසීය.