‘ලංකාවේ ඇත්ත ලොවට පෙන්වයි’


කොටි ත්‍රස්තවාදය පරාජයට පත්කළ  යුදමය ක්‍රියාවලියේ අවසන් කාලසීමාවේ ජීවත්ව සිටි දෙමළ තරුණියක අත්දුටු සිදුවීම් විස්තර කළ " අවසන් අදියරය" නම්වූ වාර්තා චිත්‍රපටය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී තිරගත විය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සභාපති නෙස්බි සාමිවරයා විසින් සංවිධානය කැරැණු එම චිත්‍රපට දර්ශනයට සහ සාකච්ඡාවට මන්ත්‍රීවරුන් සහ විශේෂ අමුත්තෝ රැසක්ම සහභාගී වුහ. 

කොන්සවේටිව් පක්ෂයේ ශ්‍රී ලංකා මිතුරු සංවිධානය ඒ සඳහා සහයෝගීතාවය  දැක්වීය.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරින් දොස්තර  ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා සහ තානාපති නිලධරයෝද සහභාගී වුහ.

ශ්‍රී ලංකාව ගැන උනන්දුවක් දක්වන බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජන කොට්ඨාසයන්ට අයත් බොහෝ පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට විශාල උනන්දුවක් දැක්වුහ.

පාර්ලිමේන්තුවේ පොදුරාජ්‍ය මණ්ඩල ශාලාවේ ඉඩකඩ නොමැති වන තරමට විශාල සෙනඟක් මෙම සාකච්ඡාවට සහභාගීවුහ.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර පිළිබඳව මෙන්ම එම දරුණු කාලසීමාව අවසන්කිරීමේ යුදමය ක්‍රියාදාමය පිළිබඳවත් ඔප්පු කළ හැකි සත්‍ය තොරතුරු ගෙනහැර පෑ අපක්ෂපාතී ස්වාධීන කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කළ  වාර්තා චිත්‍රපටයක් ඉදිරිපත් ළ ප්‍රථම අවස්ථාව මෙය බව එහිදී ප්‍රකාශවිය.

" ශ්‍රී ලංකාව ගැන අපට  කොතෙකුත් තොරතුරු අහන්න කියවන්න ලැබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය පිළිබඳව විකල්ප දෘෂ්ටිකෝණයකින් ඉදිරිපත්කල වාර්තාවක් දැක ගැනීමට ලැබීම ගැන ඉතාම සතුටු වන බව " රැස්වීම ඇමතු ඉයන් පේස්ලි මන්ත්‍රී වරයා කීවේය.

ඔහුගේ අදහස වුයේ මෙතෙක් කල් පැවතියාක් මෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයත් එයට අදාළ තොරතුරු සහ විශ්ලේෂණ ඉදිරිපත් කිරීමත් පිළිබඳව ජාත්‍යන්තරයට හෝ එක කණ්ඩායමකට හෝ තනි අයිතියක් තිබිය නොහැකි බවයි.

කොටි ත්‍රස්තවාදය අවසන්කිරීම පිළිබඳව මෙතෙක් පැතිරී තිබුණු සාවද්‍ය නිගමන සහ අසත්‍ය ප්‍රචාරයන් සඳහා අභියෝගාත්මක පිළිතුරක් ලබාදෙන මෙවැනි තොරතුරු හැකිතරම් දුරට ප්‍රචාරය කිරීම ඉතාමත් කාලෝචිත මෙන්ම වැදගත් වන බවද මෙහිදී පෙන්වාදෙනු ලැබීය.

මෙම චිත්‍රපටය ලොව වටා ප්‍රදර්ශනය කර හැකි තරම් දෙනාට දැකගැනීමට සැලැස්වීමට තරම් වැදගත් නිර්මාණයක් බවද බොහෝ දෙනෙක් පැවසුහ.

චිත්‍රපට දර්ශනය අවසානයේදී එහි අන්තර්ගතය පිළිබඳව පැවති සාකච්ඡාවට ලන්ඩන් නුවර විදේශ ප්‍රතිපත්ති විශලේෂණ ආයතනයේ මහාචාර්ය පෝල් මෝර්ක්‍රාෆ්ට් සමඟ චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමේ රිචඩ් මුන්ඩි සහභාගී විය.

හමුදා මෙහෙයුම් පිලිබඳ මෙන්ම ජන මාධ්‍ය පිළිබඳවත් සුවිසේශී දැනුමක් ඇති මහාචාර්ය මෝර්ක්‍රාෆ්ට් " දෙමළ ත්‍රස්තවාදයේ පුර්ණ සංහරණය" නමින් ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ සවිස්තරාත්මක තොරතුරු සහ විශ්ලේෂණ ඇතුල් ග්‍රන්ථයක් රචනා කළේය.

චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ රිචඩ් මුන්ඩි වසර දොළහකට වඩා ශ්‍රී ලංකාවේ ජීවත්වුවෙකි.

එනිසාම යුද්ධය අවසන්වීමත් ඉන් පසුව ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් ලබා ඇති අස්වැසිල්ලත් පිලිබඳ මනා අවබෝධයක් ඔහු සතුව ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳව ලොව පුරා සැලසුම් සහගතව හිතා මතා ප්‍රචාරය කෙරෙන අසත්‍ය තොරතුරු පිළිබඳව ඔහු කලක සිට කනස්සල්ලට පත්ව සිටියෙකි. මෙනිසාම ශ්‍රී ලංකාවේ පවතින ඇත්ත තත්වය ලොවට කියාපෑම සඳහා අපක්ෂපාතී වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරිපත්වූ කණ්ඩායමකට ඔහුගේ සහයෝගය ලබාදුන්බව ඔහු පවසයි.

මෙම චිත්‍රපටය තුලින් යුද සමයේ කොටි පාලනය යටතේ ජීවත්වූ ජයවර්ධනී නම්වූ ද්‍රවිඩ තරුණිය මුහුණ දුන් අත්දැකීම් අපක්ෂපාතීව ඉදිරිපත් කර ඇත.

රුවන් කුකුලේවිතාන විසින් නිෂ්පාදනය කැරුණු එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා ජීවන් චන්දිමාල්ය.

එම රැස්වීම සංවිධානය කිරීම පිළිබඳවත් ඒ සඳහා සහභාගීවීම පිළිබඳවත් කෘතඥතාවය පළකරමින් කොන්සර්වේටිව් පක්ෂයේ ශ්‍රී ලංකා මිතුරු සංවිධානයේ දොස්තර ලයනල් සමරසිංහ ස්තුති කතාව කළේය.