‘ලංකාවට ආ ගමන් දුමින්ද අල්ලනවා‘
සිංගප්පූරුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාව ආ විගස අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද දැනුම් දුන්නේය. ඔහු ලංකාවට ආ විට අත්අඩංගුවට ගන් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන්නැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයට දැන්වූ විට එසේ අවශ්‍ය නැති බවත් තමා ඔහු ඉදිරිපත් කිරීමට පොරොන්දු වන බවත් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කීවේය.
පසුගිය පළාත් පාලන ඡන්දය දා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු නියෝජ්‍ය ඇමැති ඇතුළු සිවු දෙනකු මරාදැමී යැයි කියන සිද්ධිය අද විභාගයට ගැනුනු අවස්ථාවේ මහෙස්ත්‍රාත් පැවැසුයේ විත්තියෙන් ඉල්ලා සිටි ලියවිලි ලබා ගැනීමට විත්තියට අවසර ඇත්තේ මහාධිකරණයේ නඩු පැවැරූ පසුව බවයි. එම ඉල්ලීම කළ හේමන්ත වර්ණකුලසුරිය මහතා දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීම ද ප්‍රශ්නයක් බව කී මහේස්ත්‍රාත් රටේ නැති සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඒ සඳහා ඔහුගෙන් ලිඛිත අවසරයක් තිබිය යුතු යැයි ද එවැන්නක් උසාවියට ඉදිරිපත් කැර නැතැයි ද ප්‍රකාශ කෙළේය. එහෙත් මේ ගැන ඉහළ උසාවි තීන්දුවක් ඇතැයි නීතිඥයා කීවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

