උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවැසීය.
පිලිපීනයේ ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට ප්‍රථමයෙන් එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඒ බව පැවැසීය. එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා සතියක කාලයක් ආසියාවේ සංචාරය කිරීමට නියමිතය. අද (23) ජිම් මැටිස් පිලිපීන ආරක්ෂක ප්‍රධානීන් හමුවීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු තායිලන්තයේ හා දකුණු කොරියාවේ ද සංචාරය කිරීමට නියමිතය.
උතුරු කොරියාවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආසියානු කලාපයේ තම මිතුරු රටවල් සමඟ සාකච්ඡා කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් කීය.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා මෙසේ ආසියාවේ සංචාරයක යෙදෙන්නේ එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ආසියානු සංචාරයට පෙරය. පසුගිය සති කිහිපයක කාලයේදී ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර වාග් යුද්ධයක් ඇතිවිය. දෙදෙනාම උණුසුම් අදහස් ප්‍රකාශ කළහ. එක් අවස්ථාවකදී ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකය ‘රොකට් මෑන්’ (රොකට් මිනිසා) යනුවෙන් හඳුන්වා දුන්නේය. උතුරු කොරියානු නායකයා මරාගෙන මැරෙන මෙහෙයුමකට ප්‍රවේශ වී ඇතැයි ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කීය.
පසුගිය මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතූ ඇමෙරිකා ජනාධිපතිවරයා ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ මිතුරන් ආරක්ෂා කිරීමට අවශ්‍ය වුවහොත් උතුරු කොරියාව විනාශ කරන බවට ද තර්ජනය කළේය.
අද දිනයේදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ජපානයේ හා දකුණු කොරියාවේ ඔහුගේ ධුරයට සාමන ධුර දරන්නන් හමුවීමට නියමිතය. ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම්ධුරය අනෙක් රටවල ආරක්ෂක අමාත්‍යධුරයට සමාන වේ.
‘ආසියාන්’ සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවක පිලිපීනයේ පැවැත්වෙන අතර එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ඊට ද සහභාගී වීමට නියමිතය.
055

