කොළඹ රා තැබෑරුම් බල ප්‍රදේශයන් පුළුල් කිරීමට අවසර ලබා දෙමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ සර්ව ආගමික නායකයින් පිරිසක් අද (09) ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
කොළඹ 14 ඉසිපතනාරාමාධිපති මාදම්පාගම අස්සජි හිමි,කොළඹ 13 ශ්‍රී පොන්නම්බලවානේෂ්වර් කෝවිලේ සිවරාජා චන්ද්‍රකුමාර් පූජකතුමා,සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අශෝක ස්ටීවන් පියතුමා ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ දිසා ලේකම් ඩී.පී.වික්‍රමසිංහ, සුරාබදු කොමසාරිස් එල්.කේ.පී.ගුණවර්ධන යන මහත්වරු සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
ජනපතිවරයා මතින් නිදහස් රටක් නැමැති ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබියදී සැප්තැම්බර් මස 18 වැනි දින කොළඹ දිසා ලේකම්වරයා ප්‍රකාශයට පත් කළ 1933 අංක දරණ ගැසට් නිවේදනය මගින් ජනපතිවරයාගේ ප්‍රතිපත්ති පවා උල්ලංඝණය වී ඇති බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

