‘රාජ්‍ය සහ පෞද්ගලික සේවකයා අමතක කළ අයවැයක්’



(නිමල කොඩිතුවක්කු)

මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ මෙවර අයවැය රාජ්‍ය අංශයේ සේවකයා සහ පෞද්ගලික අංශයේ සේවකයා අමතක කළ අවමංගල අයවැයක් බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා අද (15) පැවසීය.

මහබැංකු බැදුම්කර වංචාවෙන් ගෙදර යන්න වෙච්ච රවී කරුණානායක දීලා යන්න ගියපු මුදල් ඇමැතිකම මංගල සමරවීරට ලැබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සමීපතයෙක් නිසා. ඒ සමීපතයා පාවිච්චි කරලා අද මේ ආණ්ඩුව මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කිසිදු ආරක්ෂක ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකර ගමේ පොළ වගේ කරන්නයි මේ හදන්නේ.

ඕනෑම කෙනෙක් ආවා බඩු ටික විකුණ ගත්තා එකතුවෙන කුණු ටික පොලේම දැම්මා ගියා. ඒ වගේ අපේ රට බරපතල  ආර්ථික අවදානමකට ලක් කිරීම තමයි මේ මංගල මහත්තයා හදන්නේ.

2018 අවුරුද්දේ අලුත් බදු බලපෑම අනුව එක පවුලකට භාණ්ඩ හා සේවා මත බදු පමණක් මාසයකට රුපියල් 3633ක ගෙවන්න වෙනවා. මේවා තමයි මංගලගේ අයවැයෙන් කොලේ වහලා ජනතාවට ගහපු බදු. මේ බදු අපි ගෙවන්න  ඕන.

මේ බදු ගෙවන්න යෝජනා නැහැ. වැටුප් වැඩිවීමක් ආර්ථික සහනයක් ලබාදීම පිළිබඳ යොජනා නැහැ. ඒ නිසා මේ අය ආර්ථිකය හදනවා කියලා අඛණ්ඩව දිගටම කරමින් තියෙන්නේ අලූත් බදුපැනවීම යැයි හෙතෙම කීවේය.