‘රාජ්‍ය ආරක්ෂාව ගැන ප‍්‍රශ්න ඇතිවෙලා’


(විනීතා එම්. ගමගේ)
 
රාජ්‍ය බුද්ධි තොරතුරු ඉතා නිවැරදි බවත් බුද්ධි අංශ නිලධාරීන් රඳවා ගැනීම් හා ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්න රාශියක් ඇති වී ඇති බවත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
 
කවර කරුණකටත් වඩා රාජ්‍ය ආරක්ෂාව පළමු කරුණ විය යුතු යැයි ද ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය. 
 
2015 න් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ කි‍්‍රයාවලිය නිසා ජාතින්ට අවැඩක් වේ යැයි සිතා අන්තවාදි කල්ලිවලට එරෙහිව රජය කටයුතු කර නොමැති අතර යහපාලනය යන නමට මුවාවී රාජ්‍ය ආරක්ෂාව පහළ දැමිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. බෙදුම්වාදයට හා ත‍්‍රස්තවාදයට එහා ගිය ආගමික ත‍්‍රස්තවාදයට රට මුහුණ දී සිටින්නේ යැයි ද වසර තිහක යුද්ධය නිමා කොට වසර දහයකට පසු මේ ඛේදජනක ඉරණමට රට මුහුණ දුන් බව ද ජයසේකර මහතා කියා සිටියේය. 
 
පොලිස්පතිවරයා වහාම යම් තීන්දුවක් ගත යුතු යැයි ද නියොජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනෙකුට අපේ‍්‍රල් 11 දා දැනුම් දුන් බව කියන පොලිස්පතිවරයා ඒ පිළිබ`දව ඉන් අනතුරුව 21  වැනිදා දක්වා සොයා නොබැලූ හේතුව ඔහු හෙලි කළ යුතු යැයි ද මන්ත‍්‍රීවරයා පැවැසීය.
 
රටක රාජ්‍ය ආරක්ෂාව යනු හෝටල් ආරක්ෂා කිරීම නොවන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කියන නමුත් රටක ආරක්ෂාව යනු හෝටල් පමණක් නොව රටේ සියලූ අංශවලට ආරක්ෂාව සැපයීම බවත් ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය. ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙවැනි කතා නොකිව යුතු යැයි පැවසූ ශ්‍රීලනිප ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යංශය ත‍්‍රීවිධ හමුදාව සහ පොලිසිය මුළු මහත් රටේම ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගතයුතු යැයි ද ස`දහන් කළේය. 
 
සිදුකළ යුත්තේ එකිනෙකාට අවලාද නගා ගනිමින් සිටීම හෝ පුද්ගලික අමනාපකම් වෙනුවෙන් මේ සිද්ධිය භාවිතාකිරීම නොව මේ ත‍්‍රස්ත කල්ලිය මැඩලීමට කටයුතු කරන්නේ කෙසේ ද කියා සොයා බැලීම යැයි ද ඔහු ස`දහන් කළේය. 
 
සමස්ත මුස්ලිම් ජනතාවම මීට වගකිව යුතු නැති බවත් මුස්ලිම් සමාජයේ සුළු කොටසක් ආගමික අන්තවාදයට අල්ලා ගෙන ඇති බවත් කීය.
2013 2015 2017 වැනි වර්ෂවල පවා මෙම කල්ලිය ගැන බුද්ධී අංශ දැනුම් දී ඇතැයි පැවසූ ශ්‍රී ලනිප මහ ලේකම්වරයා රට තුළ සිංහල අන්තවාදය දෙමළ අන්තවාදය හා මුස්ලිම් අන්තවාදය අඩු වැඩි වශයෙන් පවතින බව ද සඳහන් කළේය. 
 
දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.