‘රතුපස්වලට සාධාරණය ඉටු කරනු‘


ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට යුද හමුදාව එවා වෙඩි තබා තිදෙනකු මරා දැමීම හා විශාල පිරිසකට තුවාල සිදුකිරීම ගැන මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය පළ කරයි.

එම සිද්ධියට අදට (01) වසර දෙකක් සම්පූර්ණ වෙයි. උද්ඝෝෂකයන්ට පහර දීමෙන් හා  වෙඩි තැබීමෙන් යුද හමුදාව බලය අයුතු ලෙස භාවිත කර ඇතැයි අනාවරණය වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා තිබිණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියනුයේ සිද්ධියෙන් තුවාල ලැබූ කිසිවකුට මෙතක් වන්දි ලබා දී නැති බවයි. සිද්ධියේදී පීඩනයට පත් වූ මාධ්‍යවේදීන්ට ද මෙතෙක් සාධාරණයක් ඉටුවී නැති බව ද එම සංගමය සදහන් කරයි.

රතුපස්වලට යුද හමුදාව ගෙන්වූ හා වෙඩි තැබීමට අණ කළ පිරිසට එරෙහිව හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද, අගතියට පත්වූවන්ට වන්දි ලබා දෙන ලෙස ද රජයෙන් ඉල්ලන තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය හැකි ඉක්මනින් එවැන්නක් සිදු නොවුනහොත් එම ජනතාව සමග දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද පවසයි.