“අද පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල කොටසක් පරාජය වෙලත් තියෙනවා. රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ ඔවුන් පරාජය වුණේ ඇතැම් පිරිස් සංවිධානාත්මකව සිදු කළ දේවල් නිසා බව ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අර්ජුන රණතුංග මහතා පවසයි.
මහර මෙහෙයුම් කාර්යාලයේදී අද (19) මැතිවරණයේදී තම ජයග්‍රහණය උදෙසා කැපවූ පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කිරීමේ සුහද හමුවට එක් වෙමින් මේ බව පැවසූ රණතුංග මහතා මනාප 1 65 890 ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයටද පත් විය.
පසුගිය 17වැනිදා ජයග්‍රහණය ඉදිරියටත් ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවත් මෙවර තේරී පත්ව ඇති ඇතැම් අයගේ කුමන්ත්‍රණ හමුවේ රට ඉදිරියට ගෙන යාම අසීරුවනු ඇති බවත් ඒ මහතා කීවේය. මේ හේතුවෙන් යහපාලනය සහ සුපිළිපන්න බව ආරක්ෂා කරගැනීම උදෙසා මහජනතාව තවදුරටත් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කළේය.
“අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ ආණ්ඩුවක් හදන ක්‍රියාවට අත ගැහුවේ ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට තිබූ අවශ්‍යතාව නිසා.. පහුගිය දවස්වල තිබුණ ප්‍රශ්න සියල්ලම විසඳගෙන ඉදිරි වසර පහ සඳහා මේ රට පිරිසිදු නායකයින් දෙදෙනෙකුට භාරදෙන්න අපට හැකි වුණා. ඒ සඳහා තමුන්නාන්සේලා විශාල කැපවීමක් කළා. නමුත් අමතක කරන්න එපා මේ ජයග්‍රහණයට විරුද්ධව සිටින කණ්ඩායම්වලටත් අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතිවාදය අවුස්සන, රට බෙදන්න හදන කෙසේ හෝ බලය ලබාගන්න හදන ඒ කණ්ඩායම් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ගැන අවධානයෙන් අපි රට ඉදිරියට ගෙනියන්න ඕන” යැයිද අර්ජුන රණතුංග මහතා කීවේය.

