ගෝලීය දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම මෙරට ගොඩනැගීමට මහත් රුකුලක් වන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.
දෙමළ ජනතාවට සිදුවූ විවිධ තාඩන පීඩන හමුවේ ඔවුන් වෙසෙන රටවලදී දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑමක් ඇති කිරීමට සමත් වූ පිරිසක් නිසා ඔවුන්ගේ සහයෝගය යළි ලබා ගැනීමට හැකිවීම අතිශය වැදගත් කමක් ගන්නා බවත්, බහුතර දෙමළ ඩයස්පෝරාව නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ වැඩ කිරීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.
බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එසේ කීවේය.
එසේම විදේශීය දෙමළ ජන කොටස් තුළ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කථාබහ කිරීම වැදගත් බව උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මගින් නිර්දේශ කොට ඇති බවද ඒ මහතා පවසා ඇත.
තවද ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳව අවධානය යොමු කරන වකවානුවක දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරමින් එම ජනතාව ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත් බව විදේශ ඇමතිවරයා පෙන්වා දී තිබේ.
එමෙන්ම අනාගතයේදී තම දේශපාලන උවමනාවන් දිනා ගැනීමට ප්‍රචණ්ඩත්වය පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පොදු ප්‍රතිඥාවක් පවා දීමට කැමැත්ත පළ කොට ඇති බවත්, එම පිරිසගේ ඥානය, දක්ෂතා, සහ නිපුනතා ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්තාව උදාවන බවත් විදේශ ඇමති මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සති අන්තයේදී ලන්ඩන් නුවරදී දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ගෝලීය ද්‍රවිඩ සංසදයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර රටේ ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩපිළිවෙළට සහාය ලබා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබිණි.

