‘රට අරාජික වුණාම ඒකාධිපතියෝ ඕනෑ කියනවා’



 
අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
රටක් අරාජික වන විට ඒකාධිපතීත්වයට අතවනන නමුත් ඒකාධිපති පාලකයෙක් හදපු රටක් ලොවේ කොතනකවත් නැති බවත්,  කුඩු ව්‍යාපාරයේ යෙදෙන දේශපාලනඥයන් කිලෝ ගණනින් කුඩු ගෙනෙමින් නිදැල්ලේ සිටිය දී ග‍්‍රෑම් දෙක තුනක් කුඩු ළඟ තබාගත් පුද්ගලයන් එල්ලා මරා ලංකාවේ කුඩු මාෆියාව නැවැත්වීමට තීරණය කිරිම විහිළුවකැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඌරුබොක්ක නගරයේ  දී පැවසීය.


‘‘රටරකින රටහදන ජනතාවාදී පාලනයක්- ජනහමු දස දහසක්’’ වැඩ සටහනේ පළමුවැන්න ඌරුබොක්ක සණස ශ‍්‍රවනාගරයේ පවත්වමින් තවදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීවේය.


‘‘ඉස්සර මේ රටට මත්ද්‍රව්‍ය ගෙනාවේ ටික් බෝලයක් තරම් ගුලි දෙක තුනක් ගිලලා එයා පෝර්ට් එකෙන් එළියට ඇවිත් වස්ති කරලා ඒවා එළියට අරගත්ත ක‍්‍රම වලින්. අද එන්නේ කන්ටේනර් පිටින්. එදා වගේ නෙවෙයි අද මේ මත්කුඩු ජවාරාමට මැති ඇමතිවරුත් සම්බන්ධයි.

පසුගිය පාලන සමයේ ගම්පහ දිස්ත‍්‍රික්කය නියෝජනය කළ නිමල් ලංසා කියන නියෝජ්‍ය ඇමැතිවරයාගේ නිවස එස්ටීඑෆ් එකෙන් වැටලූව. මහින්ද මහත්තයා හෙළිකොප්ටර් එකෙන් ඒ ගෙදරට ඇවිත් වැටලීමට බාධා කරලා නිමල් ලංසා ආරක්‍ෂා කළා. මීගමුව පැත්තේ අය ඔහුට කියන්නේ කුඩු ලංසා කියලා. එදා මහින්දගෙන් රැකවරණ අරගෙන අද රනිල් මෛත‍්‍රීගේ රැකවරණ ලබලා ආය මහින්ද ළඟට ගිහින්. 


පහුගිය ඡන්ද කාලේ නුවරඑළියේ දී ජනපති ඉන්න වේදිකාවකදී එස්.බී. ඇමැති ප‍්‍රසිද්ධියේ කිව්වා නුවරඑළියට කුඩු ගේන්නේ දිගම්බරම් ඇමැති කියලා. කුඩු ජාවාරම පිටු පස්සේ ඉන්නේ දේශපාලනඥයෝ කියන එක ඉතාම පැහැදිලියි. දරුවන්ගේ රටේ අනාගතය ගැන නොසිතන කොහොම හරි මුදල් හොයන්න පෙළෙඹෙන නරුම දේශපාලනඥයෝ ටිකක් අපේ රටේ ඉන්නේ.


බන්ධනාගාරයේ දඬවම් විඳිමින් කුඩු බිස්නස් කරන මරණ දඬුවම නියමවුවන්ට මරණ දඬුවම දෙනවා කියලා ජනපති මෛත‍්‍රී කියනවා. බන්ධනාගාරයේ දඬුවම් විඳන අයට එහි ඉඳගෙන බිස්නස් කරන්න පුළුවන් ද? 


කුඩු විතරක් නෙවෙයි පාතාලයේ අයත් දේශපාලනඥයින්ගේ රැකවරණ යටතේ හොඳින් ඉන්නවා. කඩුවෙල වසන්ත කාලයක් හිටියේ පවිත‍්‍රා ළඟ. ජූලම්පිටියේ අමරෙ හිටියේ මහින්ද ගාවා. මං ගාවා ඡායාරූපයක් ඇති. නාමල් රාජපක්‍ෂ වේදිකාවේ කතා කරනවා, අර අපේ වේදිකාවට වෙඩි තියා දෙන්නෙක් ඝාතනය කළ ජූලම්පිටියේ අමරේ අත්දෙක බැඳගෙන නාමල්ට ගාඩ් එක දෙනවා.