තමන්ගේ කෙනකු ජනපති ධුරයට පත් වුවහොත් තම ජීවිත සැපවත් වේ යැයි සිතා ඡන්දය දුන් හම්බන්තොට ජනතාව කන්ද පාමුල තබා මහින්ද රාජපක්ෂ සිය පවුල ද සමග කන්ද මුදුනට නැඟ ඇති බවත්, එනිසා අතරමං වූ ජනතාවගේ ජීවිත සැපවත් කිරීම අගෝස්තු 17 වැනිදායින් පසු තමා බාර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වලස්මුල්ලේ දී කීවේය.
‘දකුණු අධිවේගී මාර්ගය ඉදි කළත් එම මාර්ගයේ ප්‍රවාහනයට කර්මාන්ත භාණ්ඩ කිසිවක් නෑ. එම මාර්ගයෙන් ලැබුණු පහසුවක් වන්නේ හදිසි රෝගියකු ඉක්මනින් කොළඹ රෝහලකට ගෙන යාමට හැකි වීම පමණයි.
හම්බන්තොට ගුවන් තොටුපොළක් ඉදි කර ඇතත් ගුවන් යානයක් එන තුරු තවමත් බලා සිටිනවා. කොළඹ නගර සභාවේ ත්‍රීරෝද ගාලේ පවා මීට වඩා ලාභ ලබනවා. හම්බන්තොට ඉදි කළ සම්මන්ත්‍රණ ශාලාව පාඩු ලබන අතර ඉඳ හිට සම්මන්ත්‍රණ වෙනුවට විවාහ උත්සව පවත්වනවා.
රාජපක්ෂ රෙජීමය සංවර්ධනය මැන්නේ කොංක්‍රීට් වලිනුයි. කොන්ක්‍රීට් වැඩිවෙන්න වැඩිවෙන්න ඒ අය සිතුවේ සංවර්ධනය වැඩි වෙන බවයි. නමුත් අප සංවර්ධනය මනින්නේ ජනතාවගේ අතමිට තිබෙන මුදල් වලිනුයි. රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදි අංශවල දියුණුව අපේ සංවර්ධනයේ මිණුම් දණ්ඩයි.
රජ්ජුරුවෝ උඩයි උඩයි යනුවෙන් මෙතෙක් කල් කිව්වා. ජනවාරි අට වැනි දා රජ්ජුරුවෝ බිමට වැටුණා. ඒ රජ්ජුරුවො දැන් හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්නේ නැතිව කුරුණෑගලට ගොස් ඡන්දය ඉල්ලනවා. ‘





