‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘


වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැඩ  පටන් ගෙන ඇතැයි   එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා අද මාධ්‍ය හමුවක දී කීවේය.

‘එක්සත් ජාතික පක්ෂය බලයෙන් යන විට පෙට්‍රල් ලීටරය තිබුණේ රුපියල් 52කට වගේ ගණනකට. එය රුපියල් එකසිය හැට ගණන් දක්වා වැඩි කළේ වෙන කවුරුත් නෙවෙයි. මේ ආණ්ඩුව විසින්මයි. මේ මායාකාරී වැඩත් හරියට ඇලඩින්නේ පුදුම පහන වගෙයි. ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජා ගැන මුළු රටම හොඳ අවබෝධයක් ලබා තිබෙනවා.

2005 සිට දෙන්න බැරිවුණු සහන, යුද ජයග්‍රහණයෙන් පස් වසරකට පස්සේ දෙන්න බැරිවුණු සහන, දැන් කඩිමුඩියේ දෙන්න තරම් කරුණාවක් පහළ වී ඇත්තේ ඇයි කියා ඕනෑම කුඩා දරුවකුට පැහැදිලියි. මේ ආණ්ඩුවේ වෙස්සන්තර නාඩගම තියෙන්නේ මැතිවරණ කාලෙට විතරයි, ඡන්දෙන් පසු දෙව්දත් චරිතයයි රඟපානේ කියා රටේ ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා.

යුද්ධය අවසන් කළ යුද හමුදාපතිට අද තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නවත් අවස්ථාවක් දීලා නෑ. හැබැයි කොටි සන්ධානයේ හිටපු සමහරුන් දැන් ඇමැති මණ්ඩලයේ.‘

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහත වීඩියෝවෙන්...