‘යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයින් ජාතික ආරක්ෂාව ගැන කතා කරන හැටි කනගාටුදායකයි’


(ඉන්දික අරුණ කුමාර)

යුද්ධයට නායකත්වය දුන් ඇතැම් පුද්ගලයින් ජාතික ආරාක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ආකාරය ඉතා කනගාටුදායක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(16) පැවසීය.
 
රටේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවත්, ජාතික ආරක්ෂාව ගොඩ නැගීම සඳහා කිසිවෙකුටත් උනන්දුවක් නොමැති බවත් සඳහන් කරමින් ඉතා පහත් පෙළේ කතා මාධ්‍ය  තුළ අසන්නට ලැබෙන බවත් හෙතෙම කියා සිටියේය.
 
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද(16) නාඋල - කොහොලන්වල විශේෂ බලකා මූලස්ථානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශුව සහ රෙජිමේන්තු රණ පරශුව යන ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.
 
එහිදී වැඩිදුරත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කියා සිටියේය.
 
‘ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය වෙත ජනාධිපති රණ පරශු වර්ණ ප්‍රදාන පිළිගැන්වීම සඳහා එක්වීම සම්බන්ධයෙන් මම ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවත්, නාවික සහ ගුවන් හමුදාවත්, ඒ වගේම පොලිසියත් වසර 30 කට අධික ත්‍රස්තවාදී යුද්ධය පරාජය කිරීමට කරන ලද කැපවීම් කිසිසේත්ම අමතක කළ නොහැකියි. ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයට අපේ රණවිරුවන් ජීවිත දහස් ගණනක් පරිත්‍යාග කළා. අපේ රණවිරුවන් තුළ තිබෙන තීක්ෂණ ඥානය, බුද්ධිය, උපක්‍රමශිලීත්වය, සටන්කාමීත්වය හා කැපවීම අධිෂ්ඨානශීලී බව ඔබෙත් මගේත් මාතෘ භූමිය වෙනුවෙන් කැපකලා.
තිස් අවුරුදු යුද්ධයෙන් මියැදුණු  හමුදා විරුවන්, පොලිසිය සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ සිවිල් ජනතාව මම ඉතා ගෞරවයෙන් හා වේදනාවෙන් සිහිකරනවා. අප්‍රේල් 21 වන දා සිදුවු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව අපි දැඩි සේ කම්පාවට පත්වෙනවා. එම ත්‍රස්තවාදීන් විනාශ කරන්නට, ඔවුන් අත්අඩංගුවට ගන්නට, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සෑම කෙනෙක්ම සිදුකළ කැපවීම විශිෂ්ටයි.
යුද්ධයේ දී නායකත්වය දුන්, යුද්ධය මෙහෙයවූ ඇතැම් පුද්ගලයින් අද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතාකරන ආකාරය ඉතාමත්ම කනගාටුදායකයි. මේ රටේ ජාතික ආරක්ෂාව සහතික වී නැහැ, දුර්වල වෙලා, ජාතික ආරක්ෂාව ගොඩ නගන්නට කිසිවෙකුටවත් උනන්දුවක් නැහැ කියලා ඉතාමත් පහත් පෙළේ කතා අපිට ජන මාධ්‍ය තුළ අසන්නට හා දකින්නට ලැබෙනවා.

දේශපාලන න්‍යාය පත්‍ර, පුද්ගලික න්‍යාය පත්‍ර, තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම් යන මේවා ප්‍රදර්ශනය කරන්නන් තමයි ජාතික ආරක්ෂාව ගැන මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ. ඔවුන් එසේ කතාකිරීම තුළ රටේ සාමාන්‍ය ජනතාව බියට හා සැකයට පත්වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබදව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් සිය වගකීම් මනාව ඉටුකරමින් විශිෂ්ට ලෙස කැපවීම් කරමින් සිටින අවස්ථාවක එම සේවාව පහත් කොට සලකන අය ගැන මම දැඩිසේ කනගාටු වෙනවා.
ඒ සියල්ල යම් යම් දේශපාලන න්‍යාය පත්‍රයි. නමුත් රණවරුවන් එවැනි දේශපාලන ව්‍යාපාරවලට අයිති අය නෙවෙයි. ඒ නිසා මගෙත් රජයෙත් ගෞරවය ඔබලාට හිමිවෙනවා. මේ විශේෂ බලකාය නිර්මාණය කරන්නට පුරෝගාමී වූ විශ්‍රාමික මේජර් ජනරල් ගාමීණි හෙට්ට් ආරච්චි මහතාට මගේ විශේෂ ස්තුතිය රජය වෙනුවෙන් පිරි නමනවා. “
 
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරු, රෙජිමේන්තු භාර නිලධාරීහු, ආරක්ෂ අංශ විශ්‍රාමික නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.