‘යුද අපරාධ හොයන්න අයිතියක් නෑ‘ - රනිල්


ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තරයට හිමිකමක් නැති බවත්, රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවකුත් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන යා නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. වික්‍රමසිංහ මහතාගෙන් එම සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා ලංකාවට එල්ලවන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු ලෙසින් ඔහු මෙම කරුණු දක්වා ඇත.

  වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බවයි. ‘‘ ඔවුන් එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා ය.එසේම ඉහත කී චෝදනාවන්ට අදාළ පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය   2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී තිබෙනවා.‘

‘අප දේශීය පරීක්ෂණයකට එකඟ වූයේ ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසයි. රාජපක්ෂ පාලනය 2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කළ ප්‍රකාශ විවිධ ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්.‘

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාර ගත් දිනට පසු දා හින්දු පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘ එම් ආම් සමඟ මේ සාකච්ඡාව පැවැත්වීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ප්‍රශ්නයට තිරසාර දේශපාලන විසඳුමක් දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.