‘යහ පාලන ආණ්ඩුව සමඟ එක් වුණේ නැති නිසා නඩු දැම්මා‘


(නිමන්ති රණසිංහ)


තමන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විවේචනය කිරීම හේතුවෙන් සහ යහපාලන ආණ්ඩුව සමඟ එකතුවී තනතුරු  භාර නොගැනීම හේතුවෙන් මෙලෙස නඩු පවරනු ලැබූ බව හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවේ විත්තිකූඩුවේ සිට ප‍්‍රකාශ කළේය.


සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි අල්ලස් චෝදනා ලැබ සිටින හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවේ විත්ති වාචික ඉදිරිපත් කරමින් ඒ මහතා අධිකරණය හමුවේ එසේ ප‍්‍රකාශ කළේය.


තමන් වසර පුරා 27ක් දේශපාලන ජීවිතයේ වත්කම් බැරකම් ප‍්‍රකාශ ඉදිරිපත් කළ  බවත් කුමන වාසියක් හේතුවෙන් 2010 වසරේ පමණක් එය ඉදිරිපත් නොකර සිටින්නේද යන්න පිළිබඳව සැලකිල්ලට ගන්නා ලෙසත් තමන් යහපාලන ආණ්ඩුවට එකතු නොවීම මත තමන්ට මෙම නඩු පවරනු ලැබූ බවට සාධාරණ සැකයක් මතුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සිය විත්ති වාචිකය ලබා දෙමින් සදහන් කළේය.