(දයාරත්න ඇඹෝගම)
මගේ පළාත් සභාවේ මන්ත්‍රිවරු 34 දෙනෙක් ඉන්නවා. උන් ටික හිටපු ගමන් මට මොනවා හරි ලෙඩක් අදිනවා.ඒ වේලාවට මම උන්ට මොනවා හරි රස්සාවක් දෙකක් දීලා එහෙම නැත්නම් පාරක් කොන්ත්‍රාත් කරගන්න රුපියල් ලක්ෂ දහයක් විස්සක් දිලා ෂේප් කර ගන්නවා. මේ ගමන යන්න ඔනි කවුරුත් ෂේප් කරගෙන‘ යැයි ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර කළාවැව ආසන බල මණ්ඩල රැස්විම අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින් දිසානායක මහතා ආසන සංවිධායක ධූරය හොබවන කළාවැව ආසනයේ ශ්‍රී.ල.නි.ප බල මණ්ඩල රැස්විම තඹුත්තේගම ශ්‍රී.ල.නි.ප පක්ෂ කාර්යාලයේදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.
‘මම ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හෙට ජන්දයක් තිබ්බත් මමයි- නිමල් ඇමතිතුමයි ඉල්ලනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. නිමල් ඇමතිතුමාට දැන් අවුරුදු 73 ක් විතර වෙනවා, මට අවුරුදු 48 යි.මම නිමල් ඇමතිතුමාට ගවු ගණනක් පහළින් ඉන්නේ.හැබැයි ජන්දේදී මට නිමල් ඇමතිතුමාට වඩා ඉස්සරහට යන්න පුළුවන්.
මම ඉතින් මරණයක් මෝචරියෙන් එළියට එන කොට මළගෙදරට යනවා.මම මෝචරියෙත් එකෙක් දාලා ඉන්නේ මරණය යන තැන මට කියන්න කියලා. මොකද මට මළ ගෙදරට යන්න.ඒ නිසා මම දුවනවා, පනිනවා. මම ඔනෑම මඟුල් ගෙදරකට, මළ ගෙදරකට සහභාගි වෙනවා. ඒවායේදී කොල්ලොත් එක්ක මම වෙන වෙන දේවල් පාවිච්චි කරනවා, මට යාලුවෝ ඉන්නවා.මනාප ජන්දෙකදී මට ඉස්සරහට එන්න පුළුවන්.ඒක බැරි වෙන්නේ නෑ.
හැබැයි රට පාලනය කරන නායකයෝ බලන්න ඕන දැන ගන්න ඔනේ චාමරද - නිමල් සිරිපාලද සිල්වාද.කවුද ජ්‍යෙෂ්ඨයා කියන එක.
එහෙම දෙයක් තමයි මේ උතුරු මැද පළාත් සභාවේ වුණේ. චන්ද්‍රසේනලාගේ මල්ලි රංජිලාට තව කාලයක් තිබුණා මහඇමති වෙන්න.රංජි මනාප ටිකක් වැඩියෙන් ගත්තා, ඒ ගත්ත විදිහ කථා කරන්න ඕන නෑ, මම ඒක දන්නවා.වටේටම බාධාවන් දාගෙන, තනිකරම අරලියගහ මන්දිරේ කැම්පේන් එක ඒ පැත්තට හරවලා වැඩ කළා.ඒක වෙනම කථාවක්.ඒ වෙලාවේ මනාප ටිකක් ගත්ත පළියට මහ ඇමතිකම දෙන්න නෙමෙයි තිබුණේ.
දැන් කියනවා උතුරේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ ජන්දයි, මුස්ලිම් මිනිස්සුන්ගේ ජන්දයි නැති නිසා පැරදුනා කියලා.මම ඒ ජන්දයේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බරට වැඩ කලා.ඒ ජන්ද ප්‍රථිපලය වුණේ මෛත්‍රී මහත්තයා ලක්ෂ 62- මහින්ද මහත්තයා ලක්ෂ 58 හැට දෙකෙන් දෙකක් අඩු වුණාම 60 යි, 58 ට දෙකක් එකතු කළත් 60 යි, ජන්ද ලක්ෂ 2ක ප්‍රශ්නයක් තිබුණේ.
මම ජන්දය ඉල්ලලා මහ ඇමති කෙනෙක් වුණ කෙනෙක් නෙමෙයි.මම පළාත් සභාවට ඉල්ලුවා, මම දෙවැනියට මනාප ගත්තා.තව අවුරුදු 10 කට පස්සේ හම්බෙන්න ඕන එකක් තමයි මට මේ 10 කට කලින් හම්බ වුණේ.ඒ ජනවාරී 08 වැනිදා මම වැඩ කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණ නිසා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ තමයි අපේ පළාතේ මහ ඇමති හැටියට ආවේ 2009, එතකොට මහඇමති හිටියේ සොයිසා මහත්තයා, එයාව පොඩ්ඩක් පැත්තකින් තියලා මෙයාට දුන්නා.ඒ දීලා පළවැනි එකේ ගැහුවා එක් ලක්ෂ තිස් හය දහසක්.මුළු ලංකාවේම මැති ඇමතිවරු ඌවට ගිහින් වැඩ කළා.එහෙම කරලා ඌව මහඇමති ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂව පත් කළා. සාටකේ බැන්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි.
මමත් නෝනාත් එක්ක ලේකම් කාර්යාලයට ගිහින් හිටියා. මම නෝනගේ කනට කරලා කිව්වා "අද මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ බාප්පා වුණා නම් මටනේ ඕක දාන්නේ "කියලා.එහෙම දීපූ පළාත් සභාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ හෙලිකොප්ටරෙන් එන්න පටන් ගත්තා, ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙඩි නොවදින කාර් දෙකක් තිබුණා මහ ඇමතිට, ආරක්ෂක රථ හතරක් යනවා පිටිපස්සෙන්, ඔහොම තමයි පළාත් සභාව පටන් ගත්තේ.‘