‘මෛත්‍රී හැට දෙලක්ෂයක් ජනතාව පාවා දුන්නා‘


රාජපක්ෂත්, රාජපක්ෂගේ පවුල් පාලනයත් මේ රටත් රටේ ජනතාවත් දැඩි අගාධයට තල්ලු කරමින් කප්පම්කාරයෝ, හොරු දූෂිතයෝ, පගාකාරයෝ, කුඩුකාරයෝ එතනෝල්කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඔවුන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුව හොර ගුහාවක් බවට පත් කළා නේද යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නිට්ටඹුව දංගොල්ලවත්තේදී ප්‍රකාශ කළේය.

අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජවිපෙ ප්‍රධාන කාර්යාලය දංගොල්ලවත්තේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.

‘කප්පම්කාරයන්ගෙන් වැඩියෙන්ම පීඩාවට පත්වුණේ මේ අත්තනගල්ල ජනතාවයි. අහිංසක රඹුටන් වෙළෙඳුන්ගෙන් පවා කප්පම් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ තමයි රාජපක්ෂත්, රාජපක්ෂගේ පවුල් පාලනයත් පළවා හැරීම සඳහා පළමු වෙඩි මුරය පත්තුකෙරුවේ. චන්ද්‍රිකා හිටපු ජනපතිනිය ඒකට නොබියව මුහුණ දුන්නා. එදා අපි කිව්වදේ අද ඔප්පු වෙලා තියෙනවා නේද? මෛත්‍රිපාල මහතාව ජනපති පුටුවේ වාඩි කළේ හොරුන්ව ආරක්ෂා කරන්නද? හැට දෙලක්ෂයක් ජනතාව පාවා දීලා අද මෛත්‍රී මහත්මයා කොහාටද යන්නේ? මෙය වහාම වෙනස් කළ යුතුවෙනවා. මෛත්‍රී රනිල් එකතුවට මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න බැහැ. රටේ ජනතාවට අයිතීන් ලබාදෙන්නත් බැහැ. රටේ ජනතාවගේ සැබෑ අයිතීන් ලබාදෙන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණු පාලනයකට විතරයි‘