‘මෛත්‍රී යටතේ අගමැති වීමට මහින්ද සූදානම්‘


තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

තමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ මීළඟ රජය පිහිටුවීමේ අපේක්ෂාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෙඩිෆ්  කොම් ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.

රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවය වෙනුවෙන් නිතින් ගෝක්ලේ මෙහෙයවු එම සම්මුඛ සාකච්ඡාවෙදී ඔහු  සඳහන් කළේ  නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක්  තරග  කරන ලෙස ඉල්ලා සිටි බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග  වැදීමට සියලූ පාර්ශව  දැන් එකඟත්වය පළ කර තිබෙන බවත් මේ නිසා වෙනම සන්ධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් මහින්ද රාජපක්ෂ මහතා එම   පවසා ඇත.

තවද නාමයෝජනා ලබාදීමට පෙර තමා එවැනි නව සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා  පවත්වමින් සිටි බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී   සඳහන් කර ඇත්තේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව තමා වෙත නැවතත් ජනප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතින බවත් තමා වෙනුවෙන් පැවැත්වූ ජන රැලිවලට අතිවිශාල ජනකායක් සහභාගි වීමෙන් ඒ බව පෙනී ගිය බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම සහය ඇතැම්විට 2005 සහ 2010 ජනාධිපතිවරණ වලදී තමා පැවති සහය අභිබවා යන බවයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ.

තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එදිරිවාදියෙකු නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශපාලනයේදී එකිනෙකාට එරෙහිව තරග  වැදීම එවැනි එදිරිවාදිකමකට මුල් නොවන බවයි.

2005 වසරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග තරගකර තමා ජයගත් නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ කිසිවිටෙකත් තමාගේ සතුරෙකු ලෙස නොසළකන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර ඇත.

තමා යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවහොත් තමා යටතේ සිටි අමාත්‍යවරයෙකු වූ වත්මන් ජනාධිපතිවරයා යටතේ කටයුතු කළ හැකිදැයි රෙඩිෆ් කොම් ප්‍රවෘත්ති සේවාව හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ දි ඊට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය දැන් වෙනස් වී ඇති බවයි.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් තමා නොදකින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියා.

ජනපති සිරිසේන ගැන ඇසූ ප්‍රශ්නයට ඔහු කීවේ ජනපතිවරණ සමයේත්, ඉන් පසුවත් ඔහු සමඟ හොඳ සබඳතාවයක් ඇති කරගෙන සිටි බවයි.

‘ජනපති සිරිසේනත් මාත් දශක ගණනාවක් ශ්‍රීලනිපයේ එකට වැඩ කළා. අප දෙදෙනාගේම අරමුණ එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් පවතිනු දැකීමයි. ‘

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සෘජු සටනකට එළඹීමේ අභියෝගය බාර ගන්නා බව ද, ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමඟ හොඳ සබඳතා පවත්වාගෙන යා යුතු බව ද ශ්‍රී ලංකාව කිසි කලෙකත් ඉන්දියාවට තර්ජනයක් නොවන බව ද, නැගී එන මේ සුපිරි බලවතුන් දෙදෙනා අතර පාලමක් වීමට කැමති බව ද ඔහු කියා ඇත.

11lanka