‘මෛත්‍රී ගෙන ආ මෙහෙයුම සිදුකළේ වයිබර් තාක්ෂණයෙන්‘


මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පරාජයෙන් පසු ප‍්‍රථම වතාවට ඉන්දියාවට පැමිණි හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හින්දු වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක තොරතුරු මෙසේ පළකෙරේ.

ප‍්‍රශ්නය - ඔබ ඉන්දියාවට පැමිණ සිටින්නේ බෞද්ධ හා හින්දු ආගමික නායකයින් බුද්ධගයාවේ පැවැත්වීමට නියමිත විශේෂ හමුවක ශී‍්‍රලංකා නියෝජිතවරිය වශයෙන්.මෙම අවස්ථාවට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිත් සහභාගී වනවා.මොකක්ද මේ හමුවේ විශේෂත්වය?

පිළිතුර - මම හිතන්නේ මේ වගේ හමුවක් පැවැත්වීම ඉතාම වැදගත් දෙයක්.ඉන්දියාවේ හා ශී‍්‍ර ලංකාවේ ආගමික නායකයින් තමයි මෙයට සහභාගී වන්නෙත්.බෞද්ධ - හින්දු විදිහට බෙදිලා ඉන්නේ නැතිව ආගම් දෙකෙහි තිබෙන කරුණු ගැන හොද අවබෝධයක් එකිනෙකාට ලබාදීලා,දෙගොල්ලෝ අතර හොද සහයෝගීතාවක් ඇති කිරීම තමයි මෙහි අරමුණ.අනෙක ආගමික කටයුත්තක් නිසා මෙතැන ජාතීන් වශයෙන් බෙදීමක් නැහැ.

ප‍්‍රශ්නය - මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා ජනපති ලෙස දිව්රුම් දුන්නාට පසු ඔබ ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි.ඒ වගේම ඔබට අලූත් වගකීමකුත් පැවරිලා තිබෙනවා සංහිදියාව ඇතිකිරීම පිළිබඳ විශේෂ දුතිකාව හැටියට. ඔබ දකින විදිහට ශී‍්‍ර ලංකාවේ මේ ඇතිවෙලා තියෙන වෙනසත් එක්ක වර්තමානයේ ඉන්දු - ශී‍්‍රලංකා සබඳතා මොන වගේ තත්ත්වයකද තිබෙන්නේ?

පිළිතුර - අතීතයේ ඉදන්ම අපට ඉන්දියාවත් එක්ක හොද සබඳතාවයක් තිබුණා. රාජපක්ෂ රජයට පෙර පැවැති රජයක් සමයේත්,රාජපක්ෂ පාලන සමයේත් තමයි අප දෙරට අතර ගැටුම් ඇතිවන්නට ගත්තේ.පසුගිය රාජපක්ෂ රජයට ඉන්දියාව හා සබඳතා පවත්වාගැනීම ඇත්තටම දුෂ්කර වුනා.එහි අහිතකර ප‍්‍රතිඵල රටටම විඳින්න සිදුවුනා.නමුත් නව ජනපති මෛතිී‍්‍රපාල සිරිසේනට මම 2005 වසරේදී නවත්වපු තැනින්ම පටන්ගන්න පුළුවන් වෙලා තිබෙනවා.

ප‍්‍රශ්නය - මහින්ද රාජපක්ෂ පරාජය කරන්න ඉන්දියාව කුමන හෝ කාර්යභාරයක් ඉටුකළාද? තමන් පරාජය කරන්න ඉන්දියාවේ රෝ ඔත්තු සේවය හා බටහිර රටවල් එක්ව කුමන්ත‍්‍රණයක් දියත් කළ බවට ඔහු මේ වෙබ් අඩවියම සමග පැවැති සාකච්ඡුාවකදී චෝදනා කළා.

පිළිතුර - ඔහු පවසන දේවල් වල කිසිම සත්‍යතාවක් නැහැ.මහින්ද රාජපක්ෂ පරාජය වීම පසුපස කිසිම බාහිර බලවේගයක් කි‍්‍රයාත්වක වුනේ නැහැ.කි‍්‍රයාත්මක කරමින් සිටි අත්තනෝමතික විදේශ ප‍්‍රතිපත්ති නිසා මුල ඉදන්ම බටහිර රටවල් සිටියේ රාජපක්ෂ රජය සමග අමනාපයෙන්.නැවත දේශපාලනයට පැමිණෙන්නේ නැතිද කියා එම රටවල නායකයින් මගෙන්ම විමසුවා.ඒ හැරෙන්නට ඔවුන් වෙන කිසිම දෙයක් කළේ නැහැ.අපට අපේ දේවල් බලාගන්න පුලූවන්.රාජපක්ෂ පරාජයක් බලාපොරොත්තුවුනේ නැහැ.ඒ නිසයි ඔහු දැන් ඔය වගේ චෝදනා කරන්නේ.

ප‍්‍රශ්නය - විපක්ෂය එකට එකතුකර රාජපක්ෂට එරෙහිව ප‍්‍රබල ප‍්‍රතිවාදී කණ්ඩායමක් ගොඩනගා ඔහුව පරාජය කරන්න ඔබ විශාල කාර්යභාරයක් ඉටුකළා.කොහොමද මේ වැඩකටයුතු ආරම්භවුණේ?

එය නිකන්ම සිදුවූ දෙයක්. රාජපක්ෂ සමිීපයෙන් සිටි අය පවා ඔහුව හැරයන වාතාවරණයක් ගෙවුනු අවුරදු 2 ක කාලයේ නිර්මානය වෙලා තිබුණා.එදා මට චෝදනා කරපු විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් හා සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් මගෙන් දැඩිව ඉල්ලා සිටියා නැවත දේශපාලනයට පැමිණෙන්නය කියා.නමුත් මම ඒ ඉල්ලීම් සියල්ලක්ම ප‍්‍රතික්ෂේප කළා.දේශපාලනයට නැවත පැමිණෙන්න,තනතුරු හොබවන්න මගේ කිසිම වුවමනාවක් නැතිබව මම ඔවුන් හමුවේ අවධාරණය කළා.යුද්ධය නිමාවෙලා 2010 වසරේදී රාජපක්ෂ නැවත වරක් ජනවරමක් හිමිකරගැනීමත් සමග එවර ඔහු ජනතාවට වඩා හොඳ සේවයක් කරාවි කියන අපේක්ෂාවෙන් මම හිටියේ.නමුත් ඒ අපේක්ෂාව එහෙම්මම බිද වැටුණා.ඔහු සිටිය තත්ත්වයටත් වඩා අන්ත තත්ත්වයකට පත්වෙමින් සිටියේ.අපට බලහත්කාරයෙන් වෙනසක් ඇතිකරන්න බැහැ.එහෙම වෙනස්කම් ඇතිකරන්න ගිහිල්ලා සිදුවුනු අමිහිරි දේවල් වලට උදාහරණ අපේ රටේ ඉතිහාසයේම  ඕනෑ තරම්.වෙනස ඉල්ලන්න වුවමනා රටේ ජනතාවමයි. ඉතින් රටේ ජනතාව පාරට බහින්න ගනිද්දී,ඔවුන් අතර සිවිල් කි‍්‍රයාකාරීන්,මසුන් මරන්නන්,විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැනි සමාජයේ විවිධ තල නියෝජනය කරන පුද්ගලයින් සිටිද්දී රටේ ජනතාවට වෙනසක් අවශ්‍යව ඇති බව හොඳින්ම පෙනුනා. ඔවුන් මා හමුවටත් පැමිණියා.මේ ජනපතිවරයා මගේ අනු දැනුම මත පත්වූ අයෙක් නිසා ඔහු දැන් හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් නිසි කි‍්‍රයාමාර්ගයක් ගැනීමේ වගකීමත් ඇත්තේ මට බව ඔවුන් කීවා.මට ඇත්තටම වුවමනා වෙලා තිබුණේ නිදහසේ ඉන්න.මම,මගේ පවුලේ අය රටේ දේශපාලන කටයුතු වලට හවුල්වුනා දැන් හොඳටම ඇති කියන මතයේ මම හිටියේ.නමුත් මම උදව් කරන්න ඉදිරිපත්වුනා.

ලොකුම ගැටලූව වුනේ මහින්ද රාජපක්ෂට තරගයක් දෙන්න පුලූවන් ප‍්‍රතිවාදියෙක් හොයාගන්න එක.විපක්ෂයේ එහෙම හැකියාවක් තිබුණු කවුරුවත් හිටියේ නැහැ.මහින්ද රාජපක්ෂ නියමයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට මා සමග කතාබස් කිරීම පවා තහනම් වෙලයිි තිබුණේ.මම එනකොට අපේ පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු දුවලා හැංගෙනවා.එහෙම කළේ නැත්නම් ඊළග විනාඩියේදී රාජපක්ෂ ඔවුන්ගේ දුරකතනයට ඇමතුමක් ගන්නවා.මේ වගේ බාධක ගොඩක් මැද්දේ කටයුතු කරමින් සිටියදී තමයි මට මෛතී‍්‍රපා සිරිසේනව සොයාගත හැකිවන්නේ.ඔහු ඇරෙන්නට වෙන සුදුසු කෙනෙක් ඇත්තටම හිටියෙත් නැහැ.ඒ කාලයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ මොන වගේ අයද කියලා දන්නවනේ (සිනාසෙයි). මම මෛතී‍්‍රපාල සමග අතීතයේ වැඩකරලා තිබුණු නිසා ඔහු ගැන මා හොඳින් දැන සිටියා.යම් යම් ගැටලූ තිබුණු බව ඇත්ත.නමුත් කවුරුවත් සර්වසම්පූර්ණ නැහැ කියන එක අපි පිළිගත යුතු සත්‍යයක්.ඊළගට මා කළ යුතු වුනේ ඔහු සමග පණිවුඩ හුවමාරු කරගැනීම.විවිධ පුද්ගලයින් මාර්ගයෙන් තමයි ඔහු සමග මම පණිවුඩ හුවමාරු කරගත්තේ.ඇතැම් අවස්ථාවල මට වෙනම පණිවුඩකරුවන් පවා යොදාගන්න සිදුවුනා.පොලිසියට තොරතුරු වාර්තාවෙන එක වළක්වන්නයි එම පියවර ගැනුනේ.රට පොලිස් රාජ්‍යයක් බවට පත්වෙලයි තිබුණේ.

ප‍්‍රශ්නය - මේ කටයුතු සිදුකරන්න ඉන්දියාව සන්නිවේදන උපකරණ ලබාදුන් බවට පැතිර තිබෙන කතාවේ සත්‍යතාවක් තිබෙනවාද? ඉන්දියා ආරක්ෂක පර්යේෂණ කටයුතු හා සංවර්ධන කටයුතු පිළිඹද ආයතනය නිපදවූ චන්ද්‍රිකා දුරකථන ඔබට ලබාදුන් බවයි කියැවෙන්නේ.

පිළිතුර - නැහැ.කිසිම සත්‍යතාවක් නැහැ ඔය කතාවල.අපි යොදාගනිමින් සිටියේ වයිබර් කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය භාවිතයෙන් සිදුවෙන සංවාද වලට රහසේ සවන්දෙන්න ආකාරයක් ගැන රජය දැනගෙන හිටියේ නැහැ.වයිබර් සංවාදයටන්ට රහසේ සවන්දීම අද වෙනකන්ම ලෝකයේ දියුණුතම බුද්ධි අංශ වලට පවා හිසරදයක් බවට පත්ව තිබෙන දෙයක්.මේ මෘදුකාංගය භාවිතයෙන් සංවාදයේ යෙදී සිටින දෙදෙනා හෝ පිරිසක් හෝ හදුනාගැනීම පමණයි දැනට සිදුකළ හැක්කේ.නමුත් මේ තාක්ෂණයත් පසුගිය රජය සතුව තිබුණේ නැහැ.එහෙම තිබුණා නම් මේ කතාව ඔබත් සමග කියන්න මම අද මෙතැන නැහැ.මට කාර්යාලයක් නඩත්තු කරන්න තරම් මුදලක් තිබුණේ නැහැ.රාජපක්ෂගේ නියමයෙන්ම මගේ කාර්යාලය වසා දැමුනා.පුද්ගලයින් දෙදෙනෙක් පමණයි මගේ කාර්යාල කටයුතු වෙනුවෙන් යොදාගන්න මට හැකියාව තිබුණේ.නමුත් අපි කොහොමහරි වැඩකටයුතු කලමණාකරනය කරගත්තා.ඇත්තෙන්ම මේ කටයුතු වැඩි බර ඉසිලූවේ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්.එක්සත් ජාතික පක්ෂය ඔවුන් සමග ඉතාම සමිීපව කටයුතු කරමින් සිටීමේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මා හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හමුවන්නේ.ඔහු මා හමුවට පැමිණෙන්න බිය වුනේ නැහැ.ඒ කාලයේ විපක්ෂය තිබුණේ බොහොම දුර්වල අඩියක.ඒ නිසා අපට වුවමනා වුනේ විපක්ෂ මත දරන දේශපාලන පක්ෂ එක්ව තනන සන්ධානයක්.මේ සන්ධානය තනන්න මම උදව් කළා.එපමණයි.පොදු සතුරා පරාජය කිරීමේ අරමුණින් අප සියලූදෙනා එකට එක්වීමයි සිදුවූයේ.

ප‍්‍රශ්නය - පාර්ලිමෙන්තු මැතිවරණය පසුගියදා පැවැත්වුනා.මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්වේවිය කියා බියක් ඔබට තිබුණාද? ඔහුට අපේක්ෂකත්වය ලබාදුන්නෙත් ජනපති සිරිසේන

පිළිතුර - ඔව්.මේ නිසාවෙන්ම ජනපතිවරයා,අගමැතිවරයා හා මා අප එකිනෙකා අතර අමනාපකම් පවා ඇතිවුනා.නමුත් දැන් ඒ සියලූ ගැටලූ විසදාගෙන අවසන්.ජනපතිවරණයේදී ජනතාවට දුන් සහතිකයන් ජනපතිවරයා මෙවර මැතිවරණයේදී තහවුරු කළා.මට විශ්වාසයි ඔහුට කිසිදු අරමුණක් තිබුණේ නැහැ දුූෂිතයින්ට නාමයෝජනා ලබාදෙන්න.නමුත් පක්ෂයේ යහපත වෙනුවෙන් ඔහුට යම් තීරණ ගන්න සිදුවුනා.මෙයට වගකිවයුත්තේ රාජපක්ෂගේ නැවත පැමිණීමක් අවධාරණය කර සිටි මහලේකම්වරුන් දෙදෙනා.අන්තිමට ජනපතිවරයා කටයුතු කළා ඔවුන් දෙදෙනාවම සේවයෙන් ඉවත් කරන්න.හරිනම් එය සිදුවිය යුතුව තිබුණේ මිීට බොහෝ කාලයකට ප‍්‍රථමයෙන්.