‘මියගිය අය සැමරීම අපිට නවත්වන්න බෑ’ - වජිර


 
(සිරංගිකා ලොකුකරවිට) 
 
"මියගිය පුද්ගලයන් සැමරීම අපිට නවත්තන්න පුළුවන් දෙයක් නොවෙයි. යුද්ධයේදී මියගිය හමුදාවේ අය සමරනවා වගේම උතුරු හා නැගෙනහිර පළාත්වල අය යුද්ධයේ දී මියගිය තමන්ගේ ඥාතීන්, හිතවතුන් සහ අනෙක් පිරිස් සමරනවා. මෙය නවත්තන්න බැහැ." යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) දිසාපති සමුළුව අතරතුර පැවති මාධ්‍ය හමුවේදී අදහස දක්වමිනි. 
 
දිසාපති සමුළුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සහ අද (18) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විණි.
 
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
 
"ජාතීන් අතර ඇතිවන අනවබෝධය නිසා වරින් වර ලෝකය පුරා විවිධ ගැටුම් ඇතිවනවා. අපේ රටේත් ඒ වගේ දේවල් සිදුවුණා. 1971 කැරැල්ලක් ඇතිවුණා. 88 හා 89 කාලයේ නැවත ප්‍රශ්නයක් ඇතිවුණා. උතුරු හා නැගෙනහිර 30 අවුරුදු යුද්ධයක් තිබුණා. මේ සියල්ලෙන් පසුව සමාජය සුවපත් කරන්න කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. නමුත් අදටත් යම් යම් අය විවිධ ප්‍රකාශ කරනවා. 1971 කැරැල්ලේ දී මියගිය අය විරුවන් ලෙස සමරන්නේ කොළඹ තියෙන හොඳම උද්‍යානය වන විහාරමහා දේවී උද්‍යානයේ.
 
88 හා 89 කාලයේ මියගිය දේශප්‍රේමී යැයි කියාගන්නා අය දේශපාලන පක්ෂ වලින් සමරනවා. උතුරු නැගෙනහිර යුද්ධය නිසා අපේ හමුදාවේ ජීවිත නැතිවුණා වගේ ම ඒ ප්‍රදේශවල විශාල පිරිසකගේත් ජීවිත නැතිවෙලා තියෙනවා. එවැනි මියගිය අය සැමරීම ස්වභාවිකයි. යුද්ධය තිබුණු කාලයේත් පැවැති රජයන් ඒ ප්‍රදේශවල ජනතාව ගැන සොයා බැලුවා. ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න හැකිතරම් කටයුතු කළා. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන, ඖෂධ ඇතුළු වෙනත් පහසුකම් හැකිතරම් ලබාදුන්නා. ඔවුන්ගේ ආගම අදහන්න නිදහස දුන්නා, ඔවුන්ට රැකියා කරන්න වැටුප් ලබන්නන අවස්ථාව ලබා දුන්නා. ඉතින් දැන් අපේ රජයත් මේ දේවල් කළ යුතුයි. ඔවුන්ට නිදහස දිය යුතුයි. මේ තත්ත්වය අප තේරුම්ගත යුතුයි."