මිනී මරණ හැටි හා අපරාධ කරන හැටි සඳහන් පුවත්පතක් ආණ්ඩුවෙන් මුද්‍රණය කරන බවත්, අපරාධය සිදු කළ ආකාරය එලෙසින්ම පළකිරීම තවත් එවැනි අපරාධවලට පිටිවහලක් බවත් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ ‘විද්‍යාගෙන් පසු අපි?‘ මැයෙන් සංවේදී සිදුවීම් වාර්තාකරණය පිළිබඳව බොරැල්ල නගරෝදය ශාලාවේ දී පැවැති විවෘත සංවාදයකදී ය.
නාලක ගුණවර්ධන, නීතීඥ කේ ඩබ්ලිව් ජනරංජන, චන්දන සිරිමල්වත්ත, ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ද සහභාගී වූ එම සංවාදය තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබිණි.
ඉන්දියාවේ තරුණියක සමූහ දූෂණය කිරීමේ සිද්ධිය වාර්තා කරද්දී කිසිම පුවත්පතක ඇගේ නම හෝ ඡායාරූප පළ නොකළ බවත්, එය ඔවුන් විසින් ඇති කර ගත් ස්වයං වාරණයක් බවත්, ලංකාවේ තත්ත්වය ඊට වෙනස් බවත් ධර්මසිරි බණ්ඩාරනායක මහතා කීවේය.
මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත මහතා කීවේ අපයෝජන සිද්ධීන් වාර්තා කිරීමේ දී ‘දූෂණය‘ යන වචනය භාවිත නොකිරීමට මාධ්‍යවේදීන් වග බලා ගන්නේ නම් හොඳ බවයි.
ඇතැම් නාලිකාවල ප්‍රවෘත්ති විකාශන හරියට ටෙලිනාට්‍යයක් වගේ යැයි ද සිරිමල්වත්ත මහතා කීවේය.















