(විනීතා එම් ගමගේ)
මැයි පළමුවැනිදා කම්කරු දිනය සැමරීම තහනම් කරමින් රැළිය සඳහා පිටියක් හෝ ශාලාවක් ලබා දීම පවා ප‍්‍රතික්ෂේප කළත් තම පක්ෂය මහ පාරේ හෝ මැයි පෙළපාලි හා රැළිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මැයි දින සමරන කිසිවෙකුට ක‍්‍රීඩා පිටි හෝ ශාලා වෙන් නොකරන්නට නගර සභාව පියවර ගෙන ඇති අතර තමන්ට පමණක් නොව කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට පිටියක් දීම නගර සභාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද එම පක්ෂය කියයි.
ලෝකයම කම්කරු දිනය සමරන අවස්ථාවේ ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට කම්කරු දිනය සමරන්නට අවස්ථාව ලබා නොදීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකැයි ද පෙරටුගාමී සමාජවාදී පක්ෂ මුලස්ථානයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප‍්‍රකාශ කළේය.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ නාගමුව මහතා මෙසේ ද පවැසීය.
‘‘ලෝකයම මැයිදිනය සමරන්නේ මැයි පළමුවැනිදා. නමුත් කොළඹ මහ නගර සභාව කිසිදු පිටියක් දෙන්නේ නැහැ. මහනාහිමියන්ගේ ඉල්ලීම අනුවයි කටයුතු කරන්නේ කියනවා.
වෙනදා මැයි දිනය වෙනුවෙන් පොලිසිය පක්ෂ කැඳවා පවත්වන සාකච්ඡාව කරන්නේ පෙබරවාරියේ. නමුත් මේ අවුරුද්දේ ඒ සාකච්ඡාව පැවැත්වුවෙත් අපේ‍්‍රල් මාසයේ දියි.
ආණ්ඩුව කියන්නේ වෙසක් උත්සවය නිසා මැයි දිනය කල් දමනවා කියලයි. නමුත් 2007 දි වෙසක් පොහොය යෙදුනේ මැයි පළමුවැනිදායි. එදා යසට කම්කරු දිනයත් කළා. වෙසක් උත්සවයත් පැවැත්වුණා. සමාජවාදී භික්ෂු සංගමයේ හාමුදුරුවරුත් පෙළපාලි ගියා.
ලෝකයම මැයි දිනය සමරන්නේ මැයි මාසයේ දී. එක්සත් ජාතින්ගේ සංවිධානයත් එහෙමයි. හාමුදුරුවරු කියනවා කියා මැයි දිනය කල් දැම්මා. දැන් අපේ‍්‍රල් මාසෙ වෙසක් සමරන්නේ ඇයි කියා හාමුදුරුවරු ආණ්ඩුවෙන් අහනවා.
වෙලා තියෙන්නේ වෙනත් දෙයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මැයි දිනය සමරන්න බැහැ. රෝගී එක්සත් ජාතික පක්ෂයටත් බැහැ. නිරෝගි පක්ෂ මැයි දිනය සමරනවාට කැමති නැත්තෙ ඒකයි. මේ දවසේ තැබෑරුම් වහලා. ඉතින් තැබෑරුම් ඇරල බොන්න දෙන්න විදියක් නැති නිසා තමයි මේ දවස කල් දමාගන්න හදන්නේ. පුදුම හිතෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේකට එකඟ වුණ එකටයි.
1988 දි ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මැයි දින සමරුව තහනම් කළා. ඒ තහනම නොතකා මැයි දන සැමරූ ජනතා විමුක්ති පෙරමුණ මේ තහනමේ දි හිලෑ වෙලා තියෙන හැටි දැක්කම පුදුමයි.