‘මැතිවරණය සාධාරණයි‘ : ට්‍රාන්ස්පේරන්සි තුති පුදයි


මෙවර මහමැතිවරණය ඉතාම සාධාරණ හා සාමකාමී මැතිවරණයක් බවට පත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා සහ කාර්ය මණ්ඩලය දරන ලද උත්සාහය හා කැපවීම පිළිබඳව කෘතඥතාව හා ප‍්‍රශංසාව පළකර සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉතා සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම මඟින් ශී‍්‍ර ලංකාව ලොවටම ආදර්ශයක් මෙන්ම වටිනා පණිවිඩයක්ද ලබාදී තිබෙන බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ විශ්වාසය බවත් සාධාරණ මැතිවරණයක් සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට අනගි සහයක් ලබාදුන් පොලීසියටත්, මැතිවරණ රාජකාරීවල යෙදුණු රාජ්‍ය නිලධාරීන්ටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ රජයටත් කෘතඥතාවය පළකර සිටින බවත් එහි සඳහන්වේ.

මැතිවරණ කාලසීමාව තුළදී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ නිරීක්ෂණ ජාලය වන පොදු දේපල අයථා පරිහරණය වැළැක්වීමේ වැඩසටහන වෙත පැමිණිලි 320 කට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබූ බවත් ඒ අතුරින් පැමිණිලි 75 කට වැඩි ප‍්‍රමාණයක් රජයේ වාහන අයථා ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් බවත් එහි වැඩිදුරටත් සඳහන්වේ.

මැතිවරණ නීති උල්ලංඝණය කළ ඇතැම් දේශපාලකයන් පිළිබඳව හෙළිදරව් වූ අතර එම පුද්ගලයන්ට තරාතිරම හෝ පක්ෂ පාට නොබලා දඬුවම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ස්ථාවරය බවත් මැතිවරණයෙන් පසු කාලසීමාව තුළදීද විනයගරුකව හැසිරෙමින් මැතිවරණයේ සාමකාමී හා නිදහස් බව තවදුරටත් රැක ගැනීමට පියවර ගන්නැයි මහජන නියෝජිතයින් සහ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම ආයතනය පවසයි.