‘මැති ඇමැතිවරු පනින පැනිල්ල රිළවුන්ටවත් බෑ‘


මැති ඇමතිවරුන් එහාට මෙහාට පනින පැනිලි පනින්න ගස් උඩ යන රිළවුන්ටත් වඳුරන්ටත් බැරි බව ප්‍රවීණ නාට්‍යවේදී හා දේශක ජයලාල් රෝහණ මහතා පවසයි. ඒ මහතා එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් එසේ කීවේය.

‘හෙට අනිද්දා වෙනකොට  පැටවුන්ට පනින්න පුරුදු කරන්න වදුරු අම්මලයි රිලා අම්මලයි තමන්ගේ පැටවු අරන් අපේ පාර්ලිමේන්තුව පැත්තට අවොත් පුදුමවෙන්න දෙයක් නැහැ. මගේ පොඩි කාලේ මේ විදියට පනින එක්කෙනයි මම දැකලා තිබුනේ. ඒ කෝට්ටේ ආසනේ ජිනදාස නියතපාල මන්ත්‍රීවාරයයි. අද බලන්නකෝ පනින පැනිල්ල. තව කට්ටියක් තරගෙ ගැන  කලකිරිලා අයින් වෙලා ලු. මට හිතෙන්නේ එයාලා තමන්ට ගැලපෙන පක්ෂයක් හැදෙනකනුයි බලන් ඉන්නේ. මේ හැමෝම රටට ආදරේට රටේ ළමයින්ගේ  අධ්‍යාපනයට ආදරේට පාර්ලිමේන්තු යන්න දගලනවා නෙමෙයි. තමන්ගේ සුඛ විවරණයට තමයි මේ දගලන්නේ. තව දෙයක් මම දැක්කා. අපිට පන්සිල් පද පහ කියලා දීලා ඒ මාර්ගේ අපිට යන්න කියලා දෙන හාමුදුරුවරු කිහිප නමක් හොරුන්ට මදාවියන්ට කුඩු කාරයින්ට මන්ත්‍රී පදවි අරන් දෙන්න පෙළපාලි යනවා. පුදුම විහිළුවක්නේ මේක. අද වෙනකොට රටේ පවතින දේශපාලන වාතාවරණය ගැන කිව්වොත් සන්ධානේ ඇතුලේ කසිලි බිසිලි ගොඩයි. එක එක තුරුම්පු එලියට එනවා. ඒකේ වාසිය එක්සත් ජාතික පක්ෂෙට තියෙනවා. මොකද ගෙයක් ඇතුලේ අම්මයි තාත්තයි දරුවොයි රණ්ඩු වෙනකොට පිටින් ඇවිත් ගහලා යන්න ලේසියිනෙ. හොඳ බුද්ධිමත් අපේක්ෂකයෝ ටිකක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ජනතාවත් ඒ පිළිබඳ හොද වැටහිමක ඉන්නේ. ඒ නිසා තනිවම මැතිවරණයකට ගිහින්  ඔවුන්ගේ දේශපාලන ඉතිහාසේ වැඩිම මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු යවන්න මේ ගමන ඔවුන්ට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.‘

‘මම රට රට වල සංචාර සඳහා ගිහින් තියෙනවා. මේ ළඟදී ඉතාලියටත් ගියා. නොයෙක් නගරවලට ගියා. අපේ අයත් එක්ක කතා කළා. හැබැයි ඔවුන් ලංකාවේ දේශපාලනය ගැන මුලාවකයි ඉන්නේ. කව්රු හරි කියන දෙයක් අනුව ඔවුන් පක්ෂයක් බදා ගන්නවා. මම ඔවුන්ගෙන් ඉල්ලන්නේ රටේ සිදුවෙන හොරකම දුෂණය මත්කුඩු ජාවාරම ගැන හොද අවදියෙන් ඉන්න. ඒවාට කව්ද සම්බන්ධ කියලා හොයලා බලන්න. මධ්‍යස්ථව දේශපාලනය ගැන හිතන්න. එතකොට ඔබ රටට ආදරය කළා වෙයි. ‘ යනුවෙන්ද ජයලාල් රෝහණ මහතා පැවසීය.