(විනීතා එම් ගමගේ)
වයස මාස 18 ක් වනතුරු දරුවන් රූපවාහිනි හෝ වෙනත් එවැනි තිර ඉදිරිපිට තබාගෙන සිටීමෙන් දරුවා ඊට ඇබ්බැහි වීමටත් අධික‍්‍රියාකාරිත්ව තත්ත්වයට පත් වීමටත් හේතු විය හැකි යැයි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශ්විනි ප‍්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.
නිතර නිතර දුරකතනයේ තිරය පෙන්වීම, රූපවාහිනි තිරය ඉදිරිපිට තබාගෙන සිටීම මෙන්ම ටැබ් හෝ එවැනි වෙනත් තිර ඉදිරිපිට තබාගෙන සිටීමෙන් ද මෙම හානිකර තත්ත්වය ඇතිවිය හැකි යැයි ප‍්‍රනාන්දු මහත්මිය කීවාය.
එමෙන්ම මාස 18 සිට 24 දක්වා වයසේ දරුවන් වැඩිහිටියන් සිටින අවස්ථාවක පමණක් ඉඳහිට සුළුවේලාවක් දරුවාට හිතකර යම් දර්ශනයක් පෙන්වීමෙන් හානියක් නොවන බව ද ඇය පෙන්වා දුන්නාය.
පෙර පාසල් වයසේ දරුවන් සඳහා ද රූපවාහිනිය බැලීම නිර්දේශ කළ හැක්කේ දිනකට පැයක් හෝ ඊට අඩු කාලයක් බවත් එය ද වැඩිහිටයකුගේ අධීක්ෂණය යටතේ බවත් ඇය කීවාය.
වයස අවුරුදු පහ සිට 18 දක්වා දරුවන්ට ද රූපවාහිනිය බැලීම සීමා කළ යුතු බවත් එය ද වැඩිහිටි අධීක්ෂණය යටතේ බලන්නට දිය යුතු බවත් මහාචාර්යවරිය පැවැසුවාය.
එසේ නොවුව හොත් දරුවන් වැඩෙද්දී ඉතා හානිකර තත්වයන්ට මුහුණ දෙනු ඇතැයි පෙන්වා දුන් ඇය, දරුවන්ගේ දක්ෂතා අවම වීමටත් පාසල් වැඩ දුර්වල වීමටත් එය හේතුවන බව ද කීවාය. එහි දී රූපවාහිනි පමණක් නොව ජංගම දුරකථන හා ටැබ් වලින් ද මෙම හානිය සිදුවන බව ද මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.
එමෙන්ම කුඩාකළ එයට ඇබ්බැහි වන දරුවන් කථාබහ අඩු කරන බවත් ඔටිසම්වලට ද එය හේතු වන බවත් කී ප‍්‍රනාන්දු මහත්මිය අවධානය අඩු වීමටත් ශාරීරික කි‍්‍රයා අඩු වීමටත් මේ නිසාම ස්ථුලභාවය හා ලෙඩ රෝග ඇති වීමටත් එය හේතු වන බව ද පෙන්වා දුන්නාය.
ප‍්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය මතු කරන චිත‍්‍රපට ටෙලි නාට්‍ය හෝ එවැනි වෙනත් වැඩසටහන් රාත‍්‍රී 9 න් පසු විකාශනය කරන ලෙස රූපවාහිනි ආයතන වලින් ඉල්ලා සිටි ඇය රාත‍්‍රී 9 න් පසු රූපවාහිනි බලන්නට දරුවන්ට ඉඩ නොදෙන්නැයි මව්පිය වැඩිහිටියන්ගෙන් ද ඉල්ලා සිටියාය.
මහාචාර්යවරිය මේ අදහස් පළ කළේ කාන්තා හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සංවිධානය කළ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත‍්‍රණයක දීය. පාර්ලිමේන්තුවේ දී අද (17) පෙරවරුවේ එම සම්මන්ත‍්‍රණය පැවැත්විණි.