හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන්නැයි එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හම්බන්තොට වරාය, චීන ණය සහ චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියක් පසුගිය ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවිය.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට තර්ජනය කර ඇති බවට චෝදනා කරමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජාත්‍යන්තර කර්තෘ මයිකල් ස්ලැක්මෑන් එම නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර තිබේ.
මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත අනුමත කළ නොහැක. මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ ලැදියාව අහිමි කිරීමටත් හේතු වනු ඇත.
ශ්‍රී ලංකා බලධාරීන් අපේ පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මහින්ද රාජපක්ෂ මහතාට ‘ටයිම්ස්’ ලිපිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට අමතන්න”.
055