‘මාතලේ ගිලා බැසීම් ගැන අනිසි බියක් එපා‘


මාතලේ පොළොව ගිලා බැසීම ගැන අනිසි බියක් ඇති කර නොගන්නැයි භූ විද්‍යා මහාචාර්ය කපිල දහනායක   කියයි.

මධ්‍යම කඳුකරයේ හුණුගල් ඇති ප්‍රදේශ වැසි ජලය සමග ඇතිවන අම්ල ගතියට දීර්ඝ කාලීනව පැවතීමෙන් හුණුගල් ස්ථර දියවී යන බවත්, මාතලේ නායයාම් පිළිබඳ නීරීක්ෂණය කිරීමෙන් අනතුරුව දහනායක මහතා කියයි.

‘කෑගල්ල, රත්නපුර. හුණුගල් තිබෙනවා. ලංකාවේ හුණුගල් ඉතා සුළු වශයෙනුයි දියවෙන්නේ. යම් තැනක ගිලා බැසීමක් වී යැයි කලබල විය යුතු නෑ. මාතලේ ගිලා බැසීම් සෝදිසියේ දී වැටහුනේ වැඩිහිටි උදවියට මෙහි අත්දැකීම් ඇති බවයි. තරුණ පරම්පරාවට ද මේ දැනුවත් භාවය ලබා දිය යුතුයි. ලෝකයේ විවිධ රටවල මෙවැනි දේ නිතර සිදුවෙනවා. ඕස්ට්‍රේලියාව වැනි රටවල   මේ   උදෑසන නතර කර තිබෙන වාහනත් සමග පොළොව ගිලා බසිනවා. ඒ වාහන ගිය දිහාවක් හොයාගන්න බෑ. නමුත් ලංකාවේ කිසිම ප්‍රදේශයක එවැනි තත්ත්වයක් නෑ.

උමං ගංගාවක් අපට කොතැනක සිට කොතැනකට තියනවාද කියන්න බැහැ. නමුත් පොළොව අභ්‍යන්තරයේ විවිධ ප්‍රමාණයේ භූ පැළුම් පිහිටා තිබෙනවා. අද තාක්ෂණය ඉතා දියුණුයි. ඒ තාක්ෂණය භාවිත කරමින් මෙවැනි තැන් සොයාගැනීමට පුළුවන්. ‘