ඉදිරි මහ මැතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නාමයෝජනා ලබා දීම ස්ථිර බව දේශපාලන ආරංචි කියයි.
ඔහුට නාමයෝජනා ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී ඇත්තේ අගමැති අපේක්ෂක කම සහ කණ්ඩායම් නායක කම නොදීමේ කොන්දේසි පිටය.
හිටපු ජනපතිට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනපතිට හිතවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු දැඩි ලෙස විරෝධතාවය ඵල කර ඇතැයි ද දැනගන්නට තිබේ.
ජනපති සිරිසේන අද ඔහුගේ හිතවතුන් පිරිසකට පවසා තිබුණේ ජනවාරි අට වැනි දා ජන අභිලාශය කිසි ලෙසකින්වත් ආපසු හැරවීමට ඉඩ නොදෙන බවයි. පසුගිය රජය සමයේ සිදුවූ බව කියන දූෂණ, අක්‍රමිකතා ගැන කෙරෙන විමර්ශන කිසි ලෙසකින්වත් නවත්වන්නේ නැතැයි ද ජනපති කියා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීන් වන මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන සහ සරණ ගුණවර්ධනට සන්ධානයෙන් නාමයෝජනා නොදීමට ගෙන ඇති තීරණය අද සවස් වන විටත් වෙනස් වී නොතිබුණු බව දේශපාලන ආරංචි කියයි. මේ පිරිසෙන් දුමින්ද සිල්වාට නාමයෝජනා දෙන ලෙස පාර්ශ්ව කිහිපයකින්ම ඉල්ලීම් ලැබී ඇතැයි කියති.
බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට සහ ඌව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ද නාමයෝජනා ලබා නොදෙන ලෙස ඉල්ලීම් ලැබී ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් සලකා බලන බව ද සන්ධාන නියෝජිතයෙක් කීවේය.
ප්‍රසන්න රණතුංග මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයනු කොවන බවත්, ඔහුට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ඔහුගේ සහෝදරයන් දෙදෙනකු වන හිටපු ඇමැති අර්ජුන රණතුංග සහ හිටපු මන්ත්‍රී රුවන් රණතුංග මහත්වරුන්ට නාමයෝජනා දෙන බැවින් ප්‍රසන්න රණතුංග මහතාට නාමයෝජනා දීම අසාධාරණ බවත් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවම අවසන් නිගමනයකට එළඹ නැත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත අගමැති කරවීමේ සටනේ සිටි පළාත් සභා මන්ත්‍රීවරුන් රැසකට නාමයෝජනා හිමි නොවන බව ද දැනගන්නට ඇත.
සන්ධානයේ නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම හෙට ඇරැඹෙන අතර සෙනසුරාදා වන විට නාමයෝජනා සැකසීමේ කටයුතු අවසන් වනු ඇතැයි දේශපාලන ආරංචි කියයි.

