‘මහින්දගේ පරාජය නළලේ කොටලා ඉවරයි‘


‘මහින්දගේ පරාජය නළලේ කොටලා ඉවරයි. ඔහුට අගමැති වෙන්න බලයක් නැහැ. සන්ධානය දෙකට කැඩිලා. ගම් මට්ටමින් ඡන්දය ඉල්ලන්නේ දෙකට බෙදිලා. සන්ධානයේම සමහරු ප‍්‍රසිද්ධියේ කියනවා අනෙක් පාර්ශ්වයට ඡන්දය දෙන්න එපා අභ්‍යන්තරයේ ගැටුමක් නිර්මාණය වෙලා කියලා. ඒ නිසා දැන් පාක්‍ෂිකයින් විකල්පයක් ගැන හිතමින් ඉන්නවා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

‘අපි පක්‍ෂයක් විදියට මේ මැතිවරණයට පූර්ව සූදානමක හිටියා. ඒ නිසාම මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට විවිධ සිවිල් සංවිධාන විශාල ප‍්‍රමාණයක සහාය ලැබී තිබෙනවා. ඔවුන් සෘජුව අපි වෙනුවෙන් පෙනී ඉන්නවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, වෘත්තිකයින්, නියෝජනය කරන අගෝස්තු 17 ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදෙන ලෙසත් ජවිපෙ පාර්ලිමේන්තුවේ බලය වැඩිකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඒ වගේම කලාකරුවන් නියෝජනය කරන අලූත් පරපුර සංවිධානය ජවිපෙට සහාය පළකර තිබෙනවා. දිනෙන් දින සිදුවන මේ වර්ධනය දරාගත නොහැකි විරුද්ධවාදීන් කලබල වෙලා ජවිපෙට අවලාද, බොරු ප‍්‍රචාර, මඩ ප‍්‍රහාර එල්ල කරමින් තිබෙනවා. අපිට එරෙහිව කූට ලේඛන හදනවා. අපගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විකෘති කරමින් ව්‍යාජ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ හදනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් අතරේ බොරු ප‍්‍රචාර යවනවා ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න ප‍්‍රතිපත්ති හදලා කියලා. ෆේස්බුක් හරහා අපේ පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් සහෝදරයාගේ ව්‍යාජ අත්සනක් යොදලා අපේ පක්‍ෂය විසින් තානාපති කාර්යාලවලින් මුදල් ලබාගැනීමට ලිපි හුවමාරු කළා කියලා ප‍්‍රචාරණය කරනවා. මේ විදියට අවලාද ගහන්නේ ජවිපෙ දිනෙන් දින ශක්තිමත් වෙන නිසයි‘ යැයිද විජිත හේරත් මහතා පැවසීය.

මැතිවරණයට ඉදිරිපත්වන සියලූම අපේක්‍ෂකයින් සිය වත්කම් බැරකම් මැතිරවණ කොමසාරිස්ට ලබාදිය යුතු වන අතර මේ වනවිට වත්කම් බැරකම් ලබාදී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂක කණ්ඩායම පමණක් බවත් එහිදී ජවිපෙ ප්‍රචාරක ලේකම් සඳහන් කළේය.